පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 10කට කොරෝනා

සදෙව් රත්නායක –

එංගලන්ත සංචාරය අත ළඟ තිබියදී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ තවත් සාමාජිකයන් 7කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව අද තහවුරු විය. මේ අනුව කොවිඩ් ආසාදිත පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගියේය.ඊට පෙර හයිදර් අලි, හාරිස් රවුෆ් සහ ශදාබ් ඛාන් කොවිඩ් වෛරසය ආසාදිතවුවන් බව තහවුරු කර තිබිණි.

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වූ ක්‍රීඩකයන් වන්නේ ෆකාර් සමාන්, ඉම්රාන් ඛාන්, කාෂිෆ් බාති, මොහොමඩ් හාෆීස්, මොහොමඩ් හස්නේන්, මොහොමඩ් රිස්වාන් සහ වහාබ් රියාස් ය. මීට අමතරව පාකිස්තාන ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වන මලාංග් අලිට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.එම ක්‍රීඩකයන් මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා නම් කළ ක්‍රීඩකයන් 29 දෙනකුගෙන් සමන්විත පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන අතර මෙම තත්ත්වය හමුවේ නවක ක්‍රීඩකයන් කෙරෙහි යොමුවීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුවට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

ඉහත කී ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමාජයෙන් හුදෙකලා කරමින් තත්ත්වය පාලනය කර ගැනීමට කටයුතු යොදා ඇති අතර පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍යවරුන් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරමින් සිටී.


පාකිස්තාන ක්‍රිකට් සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වන අබීඩ් අලි, අසාඩ් ශෆීක්, අසාර් අලි, බාබර් අසාම්, ෆාහිම් අෂ්රෆ්, ෆවාඩ් අලාම්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාම් උල් හක්, කුෂ්ඩිල් ෂා, මොහොමඩ් අබ්බාස්, නසීම් ෂා, සර්ෆ්‍රාස් අහමඩ්, ශාහීන් ෂා අෆ්රිඩි, ෂාන් මසූඩ්, සොහේල් ඛාන් සහ යසීර් ෂා සම්බන්ධව සිදුකළ පරීක්ෂණ අනුව ඔවුන්ට වෛරසය අසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

එම ක්‍රීඩකයන් හෙට (24) ලාහෝර් නුවරට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති අතර එංගලන්ත සංචාරය සඳහා පිටත්ව යනතුරු එහි රැඳී සිට සිය පුහුණුවිම් කටයුතුවල නිරතවනු ඇතැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් අසාදිත ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයෙන් ඉවත් කිරීමක් සිදුවී නොමැති අතර සුවය ලබන ක්‍රීඩකයන් පසුව එංගලන්තය බලා පිටත්යනු ඇතැයි ද, එහිදී ඔවුන් වැඩිදුර පරීක්ෂණයකට යොමු කරනු ඇතැයි ද පැවැසේ.කෙසේ වුවත් දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර සියලුම ක්‍රීඩකයන් නැවත කොවිඩ් පරීක්ෂණයකට යොමු කෙරෙන බව ද වාර්තා වෙයි.දෙපිල අතර පළමු ටෙස්ට් තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අනතුරුව දෙවැනි ටෙස්ට් තරගය මැන්චෙස්ටර් නුවර සහ  අවසන් ටෙස්ට් තරගය නොටින්හැම් ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතය.  ටෙස්ට් තරගමාලාවට අමතරව පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ලීඩ්ස්, කාඩිෆ් සහ සදම්ප්ටන් ක්‍රීඩාංගණ සූදානම් කර තිබේ.

 

Exit mobile version