දැඩි නිරෝධායන නීති මැද ජාතික කණ්ඩායම හෙට (01) පුහුණුව අරඹයි…

සදෙව් රත්නායක-

කොවිඩ් වසංගතය හේතුවෙන් රජය විසින් පනවන ලද අනිවාර්ය සෞඛ්‍ය නීති රෙගුලාසිවලට යටත්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් මාස දෙකකට වැඩි කාලයකින් පසුව හෙට (ජූනි 1) ආරම්භ කෙරේ.  ඒ අනුව තෝරාගත් ක්‍රීඩකයන් 13 දෙනකු හෙට සිට දින 12ක කාලයක් කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ දී නේවාසික පුහුණු සැසියකට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 

ක්‍රිකට් ක්‍රීඩාව අතිශය අවදානම් සහිත ක්‍රීඩාවක් ලෙස සළකමින් මෙම පුහුණුවිම් සඳහා දැඩි සෞඛ්‍ය නීති රෙගුලාසි පනවා ඇති අතර එම කාල සීමාව ඇතුළත සියළුම ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස එකම හෝටලයක නවාතැන් ගනු ඇතැයි ද ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

මූලික වශයෙන් මෙම පුහුණු සැසියේ පළමු අදියර පන්දු යවන්නන් වෙනුවෙන් ආරම්භ කෙරෙන අතර ඊට නායක දිමුත් කරුණාරත්න ඇතුළු පිතිකරුවන් කිහිපදෙනකු ද එක්වීමට නියමිතය. ඒ අනුව වේගපන්දු යවන්නන් 6ක්, දඟපන්දු යවන්නන් 3ක් සහ පිතිකරුවන් 4ක් ඊට ඇතුළත්ය. 


නායක දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, ඉසුරු උදාන, කසුන් රාජිත, වනිඳු හසරංග, ලසිත් ඇඹුල්දෙණිය සහ ලක්ෂාන් සඳකැන් හෙට ඇරැඹෙන නේවාසික පුහුණු කඳවුරට එක්වනු ඇතැයි වාර්තා වෙයි. 

මේ සඳහා වන  පුහුණු කාර්ය මණ්ඩලය සිවුදෙනකුට සීමා කෙරේ. නේවාසික පුහුණු කඳවුරට ඇතුළුවීමට පෙර ඊට සම්බන්ධ සියළුම රථවාහන පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු යොදා ඇත. එය පුහුණු කඳවුර පැවැත්වෙන කාලසීමාව තුළ දෛනිකව සිදු කෙරේ. 

සෞඛ්‍ය බලධාරින් මේ වනවිටත් පුහුණුවීම් කරනු ලබන ක්‍රීඩාංගණයේ සහ ක්‍රීඩකයන් නවාතැන් ගැනීමට නියමිත හෝටලයේ නිරික්ෂණ කටයුතු සිදු කොට තිබේ. එම ස්ථාන ද්විත්වයේම කාර්ය මණ්ඩලයට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් ඔවුන් විසින් සපයනු ලැබීය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුහුණු කඳවුරට සම්බන්ධ කිසිවකුට හෝටල් පරිශ්‍රය තුළින් හෝ පුහුණුවිම් සිදුකරනු ලබන ක්‍රීඩා පිටිය තුළින් බැහැරව යාමට අවසර නොලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටී.

 

 

Exit mobile version