තරග අතර ෆ්ලොයිඩ් ඝාතනය ගැන සංකේතාත්මක විරෝධයට අයි.සී.සී.යේ ඉඩ

සදෙව් රත්නායක –

ජොර්ජ් ෆ්ලොයිඩ් නමැති නිරායුධ කළු ජාතිකයාගේ ඝාතනයත් සමග ලොව පුරා පැතිර ගිය විරෝධතා රැල්ල ක්‍රිකට් පිටියටත් පැතිරීමට ඇති ඉඩකඩ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අවධානයක් යොමුවී තිබේ.

Black Lives Matter ව්‍යාපාරය නමින් එම විරෝධතා පැවැත්වෙන අතර ක්‍රිකට් තරග අතරතුර ක්‍රීඩකයන් ඊට සහයෝගය පළ කිරීම සඳහා දණහිස නැමීමක්  (take a knee ) හෝ සිය ක්‍රීඩා ජර්සියේ සටන් පාඨ ප්‍රදර්ශනය කිරීමක් සිදුවීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරමින් සිය සාමාන්‍ය නීතිරෙගුලාසිවලට ඔබ්බෙන් යම්කිසි නම්‍යශීලී බවක් පෙන්නුම් කිරීමට තීරණය කර ඇත. 

මීට පෙර එවැනි දේශපාලනික මුහුණුවර යටතේ ක්‍රිකට් පිටියේ කිසිදු ආකාරයක සටන්පාඨ ප්‍රදර්ශනය කිරීමකට අයි.සී.සී.යේ අනුමැතිය නොලැබිණි. අවසන් වරට එවැනි ක්‍රියාවක් ක්‍රිකට් පිටියේ ප්‍රදර්ශනය වූයේ එංගලන්තයේ පැවැති පසුගිය එක්දින ලෝක කුසලාන තරගාවලිය අතරතුරදීය. එවර ඉන්දීය පිලේ හිටපු නායක, කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ  අත්වැසුම්වල සටහන් කර තිබූ  එක්තරා ලාංඡනයක් තහනම් කිරීමට අයි.සී.සී.ය පියවර ගත්තේය. අයි.සී.සී.යේ නීති රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් එම ලාංඡනය ඉවත් කිරීමට නියෝග කර තිබිණි. දෝනිගේ පෞද්ගලික පණිවුඩයක් ඉන් ප්‍රදර්ශනය වන බව අයි.සී.සී.යේ නිගමනය වී තිබිණි. එම ලාංඡනය පැලඳීමට මහේන්ද්‍ර සිං දේනි කටයුතු කර තිබුණේ ඔහු ඉන්දීය යුද හමුදාවේ ගෞරවනීය ලුතිනන් කර්නල්වරයකු ලෙස සේවය කිරීම හේතුවෙනි. ඔහු අයත් පැරෂූට් රෙජිමේන්තුවේ ලාංඡනය එසේ දෝනිගේ අත්වැසුම්වල සටහන් කර තිබිණි. 


ඊට පෙර 2014 වසරේ ජූලි මාසයේදී ඉන්දියාව සමග පැවැති ටෙස්ට් තරගයක් අතරතුර එංගලන්තයේ තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලි විසින්  ‘ ගාසා තීරය රැක ගනිමු‘ සහ ‘පලස්තීනය රැක ගනිමු‘ යන සටන් පාඨ සඳහන් අත් පට පැලඳ සිටියේය. අයි.සී.සී.යේ ඇඳුම් සහ උපකරණ රෙගුලාසි යටතේ එවැනි දේශපාලනික මුහුණුවරක් ගත් සටන්පාඨ ප්‍රදර්ශනය කිරිම තහනම් වූ අතර තරග තීරක ඩේවිඩ් බූන් විසින් එම අත්පට ඉවත් කිරීමට මොයින් අලීට නියම කරනු ලැබීය.

කෙසේ වෙතත් අමෙරිකාවේ සිදුවූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයටත්. ජාතිවාදයට එරෙහිව විරෝධය දැක්වීමටත් ලොව පුරා පැතිර ගිය විරෝධතා රැල්ල සම්බන්ධව නිරීක්ෂණය කරමින් සිටින අයි.සී.සී.ය සිය නීතිරෙගුලාසිවලට වඩා වෙනස් ආකල්පයක් දැක්වීම විශේෂත්වයකි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද ජාතිවාදයට එරෙහිව නැඟී සිටින අතර ක්‍රීඩාවේ ගුණාත්මකභාවයත්, යහපැවැත්මත් වෙනුවෙන් එවැනි ක්‍රියාවලියකට වඩාත් සාධාරණීය අයුරින් මුහුණු දීමට කටයුතු කරන බව එහි ප්‍රකාශකයකු පවසා තිබේ.

එබැවින් යම්කිසි අවස්ථාවකදී ක්‍රීඩකයන් ජාතිවාදයට එරෙහිව එම විරෝධතා රැල්ලට සහයෝගය දක්වමින් තරගයක් අතරතුර සටන්පාඨ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සහය පළ කිරීමට කටයුතු කරනු ඇත. අයි.සී.සී.යේ නීතිරෙගුලාසිවලට අනුව නොව මානුෂික මුහුණුවරක් යටතේ එවැනි තත්ත්වයකට මුහුණු දීමට ඒ අනුව තීරණය වී තිබේ. 

ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතයට අනුව ලොව පුරා සිටින විවිධ ජාතීන් අතර සමානාත්මකතාව ඉස්මතු විය යුතු වන අතර බෙදීම් හෝ දේශපාලනික ගැටලුවලට ඉඩක් නොලැබේ. එබැවින් ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය ජාතිවාදී ක්‍රියාවක් ලෙස සළකා ඊට සහයෝගය පළ කිරීමට ක්‍රීඩකයන්ට ඇති අයිතියට යම්කිසි සීමාවක් සහිතව ඉඩක් ලබාදෙනු ඇත.

 මේ වනවිට යම්කිසි පිළිගත් පුද්ගලයකුගේ මරණයක් වෙනුවෙන් ශෝකය පළ කිරීමට එවැනි පසුබිමක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නිර්මාණය වී ඇති අතර එවැනි අවස්ථාවලදී ක්‍රීඩකයන් කළු පටි පැලඳ ක්‍රීඩා කිරීම සුලබ දසුනකි. මීට අමතරව පුණ්‍ය කටයුතුවලට අරමුදල් එක්රැස් කිරීම සඳහා පොපි මල් පැලඳ ක්‍රීඩා කිරීමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මෙන්ම සෙසු ක්‍රීඩාවලදී ද දක්නට හැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක හෙවිවේට් බොක්සිං ශූර ඇන්තනී ජෝෂුවා, හිටපු සුපිරි ටෙනිස් ක්‍රීඩක බොරිස් බේකර් ඇතුළු ලොව පුරා ක්‍රීඩකයන් රැසක් පසුගිය සති අන්තයේ ලන්ඩනයේ පැවැති විරෝධතාවලට එක්වූහ. බටහිර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක කාලෝස් බ්‍රැත්වේට් ද ලන්ඩනයේ පැවැති විරෝධතා පා ගමනකට සහභාගි වූයේ Black Lives Matter යනුවෙන්  සටහන් කළ ටී ෂර්ටයක් පැලඳගෙනය. 

Exit mobile version