ජෛව බුබුලේ රගර් තරගය – ගුවන් හමුදාධිපති කුසලානය CH@FC ට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ පවතින කොවිඩි වසංගතය හේතුවෙන් 2020 මාර්තු මස සිට ඇණහිට තිබූ රගර් ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයක් අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියේ සමස්ථ ජයග්‍රහණය CH@FC කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

ඒ තරගාවලියේ දෙවන අදියරේ ජය ද CH@FC කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමෙනි. ගුවන් හමුදා කණ්ඩායම පරදා ලකුණු 29 යට ලකුණු 11 ක් ලෙස දෙවන අදියරේ ජය දිනා ගන්නට CH@FC කණ්ඩායම සමත් විය.

මෙම තරගයේදි CH@FC කණ්ඩායම ලකුණු 29ක් (උත්සාහක දිනුම් 05, ප්‍රවර්ථන 02,) ලබාගත් අතර ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 11 ක් (උත්සාහක දිනුම් 01, ප්‍රවර්ථන 01, දඩුවම් පහර 01) ලබා ගන්නා ලදි.

ජයග්‍රාහකයින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13 – 06 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. ජයග්‍රාහී CH@FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්ථා කළේ අවිෂ්ක ලී (උත්සාහක දිනුම් 02), සුදර්ශන මුතුතන්ත්‍රී (උත්සාහක දිනුම් 01), ඔමල්ක ගුණරත්න (උත්සාහක දිනුම් 01), ප්‍රසාද් මධුශංක (උත්සාහක දිනුම් 01) යන ක්‍රීඩකයින් විසිනි. ප්‍රවර්ථන දිනුම් දෙක තේනුක නානායක්කාර විසින් ලබා ගන්නා ලදි.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් රුමේෂ් රාම්දාස් විසින් උත්සාහක දිනුමක් වාර්ථා කළ අතර ඉෂාර මධුෂාන් සහ චරිත් සෙනෙවිරත්න විසින් දඩුවම් පහර 01 එකක් වාර්ථා කර ගන්නා ලදි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලූම ක්‍රීඩකයන් හා සහායක කාර්යය මණ්ඩලය ජෛව ආරක්ෂිත බුබුලක් තුළ සිට පුහුණුවීම් සිදු කළ අතර තරගාවලිය තුළ කිසිඳු සෞඛ්‍ය අවදානමක් ඇතිවීම වැළැක්වීම සඳහා සියලු පිළිවෙත් සැකසී තිබිණි.

තවද මෙම තරගය නරඹන්නන් නොමැතිව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය වග බලා ගන්නා ලදි.

Exit mobile version