ජපාන ටෙනිස් තරුව ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩිකාව වෙයි

මාස දොලහක ආදායම ඩොලර් මිලියන 31 යි....

නයෝමි ඔසාකා

සදෙව් රත්නායක- 

ජපාන ටෙනිස් තරුව  නයෝමි ඔසාකා ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩිකාව බවට පත්වූවාය. ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ නවතම ලැයිස්තුවට අනුව 22 හැවිරිදි මේ ක්‍රීඩිකාව වැඩිම මුදලක් උපයාගත් ක්‍රීඩිකාව බවට පත්වූයේ ඊට පෙර එවැනි ආදායමක් ලැබූ  අමෙරිකානු ටෙනිස් ශූරිය සෙරීනා විලියම්ස් අබිබවා යමිනි. 

ග්‍රෑන්ඩ් ස්ලෑම් සුපිරි ටෙනිස් කුසලාන දෙකක් දිනා ඇති නයෝමි පසුගිය මාස 12 ඇතුළත උපයාගත් මුදල අමෙරිකානු ඩොලර් මිලියන 30.7ක් වන අතර එය 38 හැවිරිදි සෙරීනා විලියම්ස් ලැබූ ආදායමට වඩා මිලියන 1.15ක වැඩිවීමකි. ඇය වසර 2020 ෆෝබ්ස් ලැයිස්තුවේ වැඩිම ආදායම් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියදෙනාගේ ලැයිස්තුවේ 29 වැනි තැන පසුවන්නිය. සෙරීනා විලියම්ස් රැඳී සිටින්නේ ඇයට වඩා ස්ථාන 4ක් පහළිනි. ලබන සතියේදී ෆෝබ්ස් සඟරාව නිකුත් කිරිමට නියමිත වැඩිම ආදයම් ලබන ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් ඇතුළු ධනවතුන්ගේ ලැයිස්තුවේ සියදෙනා අතර මීට පෙර ක්‍රීඩිකාවන් දෙදෙනකු ඇතුළත් වී ඇත්තේ වසර 2016දීය. 

සෙරීනා විලියම්ස් පසුගිය වසර 4 පුරාම ෆෝබ්ස් ලැයිස්තුවේ  වැඩිම ආදායම් උපයන ක්‍රීඩිකාව ලෙස සිටි අතර ඊට පෙර රුසියාවේ මරියා ෂරපෝවා වසර 5ක්ම එම ස්ථානයේ රැඳී සිටියාය. 


නයෝමි සහ ඔසාකා වර්තමානය වනවිට ලොව නවතම ටෙනිස් ප්‍රතිවාදිනියන් බවට ද පත්වී සිටිති. නයෝමි පළමුවරට ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළක් දිනූ 2018 වසරේ අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ අවසන් තරගයේදී ඇගේ ප්‍රතිවාදිනිය වූයේ ද සෙරීනාය. පසුගිය වසරේ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවත් දිනාගත් නයෝමි ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩිකාව බවටත් පත්ව සිටියාය. එවැනි ගෞරවයක් ලැබූ පළමු ආසියාතික ක්‍රීඩිකාව ද ඇය වන්නීය.

ජපානයේ වෙළෙඳ සන්නාම ප්‍රවර්ධනය කිරීම් අතර ඉහළම ජනප්‍රියත්වය ලැබූ නිරූපිකාවක්  බවට පත්වී සිටින නයෝමි ජාත්‍යන්තර වෙළෙඳ සන්නාම වන නයිකි, නිසාන්, යෝනෙක්ස් ඇතුළු රැසක් සමගම ගිවිසුම් ගතවී සිටින්නීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජපානය නියෝජනය කළ ද නයෝමි පදිංචිව සිටින්නේ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේය. හයිටි ජාතික ඇගේ පියාත්. ජපාන ජාතික මවත් අමෙරිකාවේ පදිංචියට යද්දී නයෝමිට අවුරුදු 3කි. පසුගිය වසර වනතුරු ද්විත්ව පුරවැසිභාවය ලබා සිටි ඇය මේ වසරේ ජපානයේ පැවැත්වීමට නියමිතව තිබී කොවිඩ් වසංගතය නිසා ලබන වසරට කල් ගිය ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ජපානය නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් අමෙරිකානු පුරවැසිභාවය අත් හැරියේ පසුගිය වසරේදිය. ඇයට එසේ කිරීමට සිදුවූයේ ජපානය ඇතුළුව ද්විත්ව පුරවැසිභාවය හිමි ඕනෑම අයකු අවුරුදු 22 වනවිට  සිය ජාතිකත්වය තෝරාගත යුතු බවට පනවා ඇති ජපාන නීතියක් අනුවය. ඇගේ අපේක්ෂාව දිගටම මවුබිම නියෝජනය කිරීමය. 

 

Exit mobile version