කුජීතයි… කඩුලු 10කින් පරාදයි… තරගාවලිය 3-0 න් දකුණු අප්‍රිකානුවන් ජය ගනී…

තරගාවලිය 3 – 0 ලෙස පරාජය විය. දකුණු අප්‍රිකානුවෝ අති විශිෂ්ට කඩුලු 10ක ජයක් ලබා ගත්හ.

අද සවස 7ට අර්. ප්‍රෙමිදාස ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි 20 අවසන් තරගය ආරම්භ විය. තරගාවලිය ඒ වනවිටත් දකුණු අප්‍රිකානුවෝ ජය ග්‍රහණය කර තිබුණහ. ලංකාවට තිබුණේ විලි ලජ්ජාවෙන් බේරෙන්නට දිනා ගත යුතු තරගයකි.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී තතනමින් ලබා ගත් ලකුණු 120 එකම කඩුල්ලක්වත් නොදැවී දකුණු අප්‍රිකානුවෝ ලබා ගත්හ.


යළිත් වරක් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නොදරුවෝ වූහ. වේග පන්දු යවන කගිසෝ රබාඩා හමුවේත් ශ්‍රී ලාංකික පිතිකරුවෝ නිරුත්තර වූහ.  යම් තරමකට හෝ සාර්ථ වූ පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පමණි. ඔහු පන්දු 33 දී ලකුණු 39ක් ලබා ගත්තේය.  චාමික කරුණාරත්න පන්දු 19ක දී ලකුණු 24ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී යළිත්  බ්ජොන් ෆෝටුයින් පන්දු ඕවර 4ක් තුළ ලකුණු 21කට කඩුලු දෙකක් බිඳ හෙළීය. කිගාසෝ රබාඩා පන්දු ඕවර තුනක දී ලකුණු 23කට කඩුලු 2ක් ද කෂේව් මහරාජ් පන්දු ඕවර 4 තුළ ලකුණු 14කට එක් කඩුල්ලක් ද, ඒඩන් මැක්‍රම්, ව්ලාන් මෝල්ඩර් එක් කඩුල්ල බැගින්ද බිඳ හෙලූහ. ලහිරු මධුසංඛ දුවද්දී දැවී ගියේය.

පන්දු ඕවර 20 තුළ ලකුණු 120කට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැවී ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි  රීසා හෙන්ඩ්‍රික් සහ ක්වින්ටන් ඩි කොක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පන්දු යැවීම එපා කළහ. හෙන්ඩ්‍රික් පන්දු 42ක දී ලකුණු 56ක් රැස් කළේය. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. ක්වින්ටන් ඩි කොක් පන්දු 46ක දී ලකුණු 59ක් රැස් කළේය. ඊට හතරේ පහර 7ක් ඇතුළත් විය. පන්දු ඕවර 14. 4 ක දී දකුණු අප්‍රිකානුවෝ තරගය නිමා කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගයේ වීරයා ලෙස ක්වින්ටන් ඩි කොක් සම්මාන ලැබීය.

Exit mobile version