“ඇත්ත නැත්ත ඉදිරියේදී දැනගන්න ලැබේවි”

පැය 9ක ප්‍රකාශයක් දුන් සංගා මාධ්‍යයට කියයි - අද මහේලත් එයි

2011 ලෝක කුසලානය පාවාදුන්නේ යැයි කියමින් හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවේ සත්‍ය අසත්‍යභාවය එම විමර්ශන කටයුතුවලින් පසුව ජනතාවට දැනගැනීමට ලැබෙනු ඇතැයි ඊයේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේදී පැය 9ක ප්‍රකාශයක් දුන් කුමාර් සංගක්කාර කීවේය.

පාවා දුන්නේ යැයි කියන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර ඊයේ උදෑසන 9.00ට සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණි අතර ඉන් පිටවූයේ පස්වරු 6.00ටය.

හිටපු ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම පසුගිය දින කිහිපයේ සිට ක්‍රියාත්මක වන අතර, පළමු දිනයේදී 2011 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තේරූ ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ද, දෙවැනි දිනයේ දී එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග ද ප්‍රකාශ ලබාදීමට පැමිණියහ.


එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උපනායකයා ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන අද පෙරවරුවේ ප්‍රකාශ ලබාගැනීමට කැඳවා තිබේ.

‘මේ ප්‍රකාශය ලබාදීමට පැමිණියේ ක්‍රිකට් ක්‍රීඩාවට අපේ තියෙන වගකීමත්, ගරුත්වයත්, ඒ වගේම හරි දේ හරියට කරන්න ඕන හන්දා. නමුත් මං හිතන්නේ යථා කාලයේ දී මේ පරීක්ෂණ අවසන් වුණාම මහින්දානන්ද අලුත්ගමගේගේ ප්‍රකාශයන් පිළිබඳ ඇත්ත නැත්ත ඔබ සියලුදෙනාටම දැනගන්න අවස්ථාවක් ලැබේවි කියලා මම විශ්වාස කරනවා.‘ සංගක්කාර ප්‍රකාශ කළේය.

එහි දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ සභාපතිවරයා ලෙස කුමාර් සංගක්කාර පත්වනු ඇතැයි පැතිර යන රාවය පිළිබඳ කළ විමසුමකදී ඔහු මෙසේ කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘අයි.සී.සී. සභාපතිකමට එහෙම ආරාධනා කරන්නේ නෑ. ඒකට වෙනම ක්‍රමවේදයක් තියෙනවා කියලයි මං විශ්වාස කරන්නේ. නමුත් මේ වෙලාවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වයට වඩා මට වෙන රාජකාරි විශේෂයක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මම මේ දවස්වල බලන්නේ.‘

Exit mobile version