අයි.සී.සී.ය හිටපු ක්‍රීඩා ඇමැතිගෙන් ප්‍රශ්න කිරීමට යයි

තරගය පාවාදීමේ චෝදනාව පාරා වළල්ලක් වේවිද?

සදෙව් රත්නායක:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිසිදිනෙක පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වන අතර මේ පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමට සූදානම් වෙමින් සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

තමා ක්‍රීඩකයන්ට චෝදනා එල්ල නොකරන බවත්, ඇතැම් නිලධාරීන් එම තරගය පාවාදීම පසුපස සිටි බවත් පසුගියදා රූපවාහිනි සංවාදයකට එක්වෙමින් කියා සිටි අලුත්ගමගේ මහතා, 2012 වසරේදී මේ සම්බන්ධව අයි.සී.සී.යට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, අයි.සී.සී.ය ඊට ප්‍රතිචාර නොදැක්වු බවත් කියා තිබිණි.


එහෙත් හිටපු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවකු එවැනි පැමිණිල්ලක් කිසිවිටෙක ඉදිරිපත් නොකළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ‘ක්‍රිකට් ඒජ්‘ ජාත්‍යන්තර සඟරාව වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධව වාර්තා වූ බවත්, එහි විමර්ශනය කිරිමට තරම් සුදුසු කරුණු තිබේදැයි සොයා බැලීමට ඔහු සමඟ කතා කිරිමට උත්සාහ දරමින් සිටින බවත් අයි.සී.සී.යේ නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළ බව ක්‍රිකට් ඒජ් සඟරාව වාර්තා කළේය. ඉන්දීය වෙබ් අඩවි කිහිපයක්ම අද පස්වරුවේ එම කරුණ සනාථ කරනු ලැබීය.

2011 වසරේ අප්‍රේල් මාසයේ මුල් භාගයේ මුම්බායි නුවර වෙන්කඩේ පිටියේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කඩුලු 7ක් ඉතිරිව තිබියදී ලකුණු 275 ඉලක්කය වෙත යාමට ඉන්දීය පිල සමත්වූ අතර විරෙන්දර් ෂෙවාග් සහ සචින් තෙන්ඩුල්කර් වේලාසනින් දැවී ගියත් ගෞතම් ගම්භීර් සහ නායක මහේන්ද්‍ර සිං දෝනි එක්ව ඉන්දීය පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය.

මහ මැතිවරණයත් සමග දේශපාලන වේදිකාවත් උණුසුම් කළ මාතෘකාවක් බවට පත්වූ ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධව එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා කණ්ඩායමේ එවකට නායකත්වය දැරූ කුමාර් සංගක්කාර සහ උපනායකත්වය දැරූ මහේල ජයවර්ධන දැඩිව ප්‍රතික්ෂේප කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු ක්‍රීඩා අමාත්‍යයවරයාගේ චෝදනාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු මෙරට රජයෙන් සහ ඉන්දීය රජයෙන් මෙන්ම අයි.සී.සී.යෙන් ද ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

Exit mobile version