අයර්ලන්තය පරදී… ශ්‍රී ලංකාවට ලකුණු 70ක ජයක්!

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර අද පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 70ක විශිෂ්ට ජයක් හිමි විය.

මෙම තරගය පැවැත්වුනේ සුපර්ලීග් වටය සඳහා සුදුසුකම් ලැබීමට පැවැත්වෙන තරග වටයේ 4වන තරගය ලෙසය.    තරගය අබුඩාබිහි ශෙයික් සයිඩ් අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්විනි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ අයර්ලන්ත කණ්ඩායම විසිනි. ඔවුහු මුලින්ම පන්දුවට පහර දීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්හ.


ඉනිම ආරම්භ කිරීමට පිටියට පැමිණියේ පැතුම් නිශ්ශංක සහ ප්‍රවීණ කුසල් ජනිත් පෙරේරා ය. අයර්ලන්තය කාසියේ වාසියෙන් ගත් තීන්දුව නිවැරදි යැයි මුල් ඕවර කීපයේ දී තරගය නැරඹූ අපට සිතිනි.

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ සුනු විසුණු කරනු බලා සිටියෙමු.   කී කුසල් ජනිත් පෙරෙරා යළිත් මුලුමනින්ම අසාර්ථක විය. කුසල් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.  ආරම්භක පන්දු යවන්නා වූ පොල් ස්ට්‍රීං කුසල් ජනිත්ට එවූ මුල්ම පන්දුවෙන්ම ඔහුව ගොදුරු කරගත්තේය. ලකුණු 1ට කඩුලු 1 බව ලකුණු පුවරුව පෙන්නුවේය.

අනතුරුව පිටියට පැමිණි   චන්දිමාල් පන්දු හයකට පමණක් මුහුණ දුන්නේය. ලකුණු හයක් ලබා ගත්තේය. ඔහු වේග පන්දු යවන ජොෂ් ලිට්ල්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය. දැන් ලකුණු පුවරුව ලකුණු 8ට කඩුලු 2කි.

මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තුව වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ඉනි ගලවා ගත්තේය. ජොෂ් ලිට්ල් මනරම් පන්දු යැවීමක නිරත විය. ඔහු කඩුලු ත්‍රිත්වය අභිසයට පැමිණියේ එක ලඟ පන්දු දෙකක දී කඩුලු දෙකක් ලබා ගැනීමෙනි. ලකුණු 8ට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් බිඳ වැටිනි.

 pethum-wanidu
පැතුම් සහ වනිඳු බිඳවැටී තිබුණු ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත්ව ගොඩ ගත්හ….

එක් අන්තයක සිටි පැතුම් නිශ්ශංකට වනිඳු හසරංග එක් වූයේ මේ අසීරු අවස්ථාවේ දීය. වනිඳු සහ පැතුම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කුඩු කර දැමූ ශ්‍රී ලංකා ඉනිම යළි අසීරුවෙන් ගොඩ නැගූහ. වනිඳු  විචිත්‍ර ඉනිමක් ක්‍රීඩා කළේය. පන්දු 47ක දී ඔහු ලකුණු 71ක් ලබා ගත්තේය. හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් එම විශිෂ්ට ඉනිමට එක් විය.

මාර්ක් ඇඩයර්ගේ පන්දුවකට වනිඳු දැවී යනවිට පැතුම් සහ වනිඳු එක්ව ලකුණු 126ක අනගි සම්බන්ධතාවයක් ගොඩනගා තිබිණි. වනිඳු දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 134ක් ලෙස සටහන් වෙද්දීය.

අනතුරුව භානුක රාජපක්ෂ එක් ලකුණකට ජොෂ් ලිට්ල්ට ගොදුරු විය. ඔහු මුහුණ දුන්නේ පන්දු 03කට පමණි. පන්දු 47ක දී මනරම් ලකුණු 61 ලබා ගත් පැතුම් නිශ්ශංකත් දවා ගැනීමට ලිට්ල් සමත් විය. පැතුම් ලකුණු 61ට හතරේ පහර 6ක් හා එක් හයේ පහරක් එල්ල කර තිබිණි.

අවසන් පන්දු කීපයේ දී  ගිනි පිටවන ප්‍රහාරයක් දියත් කළ දසුන් ශානක පන්දු 11 ක දී ලකුණු 21ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමට  අනතුරක් කළ පන්දු යවන්නා ජොෂ් ලිට්ල්ය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 23කට කඩුලු 04ක් දවා ගත්තේය. මාර්ක් මාර්ක් ඇඩයර් පන්දු ඕවර 04 දී ලකුණු 35කට කඩුලු 2ක් ලබා ගත්තේය.

අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 172ක ඉලක්කයක් හිමි විය.

එහෙත් අයර්ලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ මුලුමනින්ම අසාර්ථක වනු පෙනුනි. අයර්ලන්තය වෙනුවෙන් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළේ නායක ඇන්ඩ් බැල්බින් පමණි. ඔහු පන්දු 39ක දී ලකුණු 41ක් ලබා ගත්තේය.   හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් එම ඉනිමට ඇතුළත් විය.

මහේෂ් තීක්ෂණ  අලංකාර පන්දු යැවීමක් කළේය. ඔහු සිය පන්දු වාර හතර අවසානයේ ලකුණු 17කට කඩුලු 03ක් දවා ගත්තේය.

ලහිරු කුමාර පන්දු ඕවර 4 තුළ ලකුණු 22ක් ලබා දී කඩුලු 2ක් ලබා ගැනීමට සමත් වූයේය.

චාමික කරුණාරත්න ලකුණු 27කට  කඩුලු දෙකක් ලබා ගත්තේය. දුෂ්මන්ත චමීර ලකුණු 16කට කඩුල්ලක් බිඳ දැම්මේය.

වනිඳු හසරංග සිය මුල්ම පන්දු ඕවරයේ දී කඩුල්ලක් ලබාගෙන අනතුරු පන්දු ඕවර තුළ ලකුණු ලබා නොදී තරගය පාලනය කළේය.  පන්දු ඕවර  හතරට ඔහු ලබා දුන්නේ ලකුණු 12ක් පමණි. මේ පීඩනය අයර්ලන්ත කණ්ඩායමට මානසිකව බිඳ දැමීමට ප්‍රබල හේතුවක් විය.

අයර්ලන්ත ක්‍රීඩකයෝ සියලු දෙනාම පන්දු ඕවර 18.3 ක දී ලකුණු 101කට දැවී ගියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පන්දු 47ක දී ඔහු ලකුණු 71ක් ලබාගෙන බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබා පන්දු ඕවර 4 තුළ ලකුණු 12කට කඩුල්ලක් ලබා ගත් වනිඳු හසරංග තරගයේ වීරයා විය.

 

Exit mobile version