S.D.I.G දේශබන්දුට බෙදන්න කියා ගල්කිස්ස පොලිස් ලොක්කා එකතු කළ බඩුමලු ඇමති නාමල් බෙදූ හැටි…

Namai-Deshabandu

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් දෙසීය පනහකට ආසන්න සංඛ්‍යාවක් රැස්කර ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ ප්‍රධාන ආරාධිතයාකොට අද උදේ ( 21) මොරටුව මහජන රථගාලෙහි සංවිධානය කර තිබූ දුගී පවුල්වලට බඩු මළු බෙදා දීමේ උත්සවය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ නම විකුණා ගල්කිස්ස පොලිස් ප්‍රධානියා විසින් ලකුණු රැස්කිරීම සඳහා කළ මගඩියක් දැයි පොලිසිය තුළම කසු කුසුවක් මතුවෙමින් තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

ගල්කිස්ස පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 11කි. පෙරේදා (19) රාත්‍රියේ මෙම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට කොට්ටාසය භාර පොලිස් ප්‍රධානියාගෙන් විටින් විට ඇමතුම් ලැබිණි. ඒ ඇමතුම්වලින් කියැවුනේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඔහුගේ අතින්ම දුගී මනුෂ්‍යයන් වෙනුවෙන් බඩු මලු ප්‍රදානය කිරීමේ අභිප්‍රායක් ඇති බවය.

එබැවින් කොට්ඨාසයේ දුගී පවුල් 20ක් තෝරාගෙන ඔවුන් සඳහා රුපියල් තුන්දහසක් වටිනා බඩු මළු විස්සක් ලෑස්තිකරගෙන බඩු මළු හා මේ පුද්ගලයන් බස් රථයක පටවා ස්ථානාධිපතිවරයා සමග මොරටුව මහජන රථගාල වෙත වාර්තා කළ යුතු බවය.
එතැන උත්සවයක් සංවිධානය කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලොකු මහත්තයා එතෙන්ට පැමිණ ඔහු අතින්ම මේ දුගී පිරිසට බඩුමළු බෙදා දෙනු ඇති බවත්ය.

බඩුමල්ලේ අන්තර්ගතයට අදාලවිය යුතු ලයිස්තුවක් සෑම පොලිසියකටම එවා තිබිණි. හැට දහසක බඩු දිනයක් තුළ එත් පොලිස් ස්ථානයකින් සෙවිය යුතු විය. පොලිස් ස්ථානාධිපතිවරුන්මේ ඉලක්කය ලබා දුන්නේ රථ වාහන අංශයට හා අපරාධ අංශයටය. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරු ප්‍රදේශයේ කුඩු කසිප්පු හා ගංජා කාරයන් සොයා ගියහ. රථ වාහන අංශයේ නිලධාරීහු පාරට බැස මනුස්සයෙක් දෙන්නෙක් මරා ගත්හ. දිනය තුළ බඩුමළු 20 බැගින් පොලිස් ස්ථාන 11න්ම ලෑස්ති කෙරිනි. ප්‍රවාහනය සපයා ගැනුණි.

අනතුරුව තෝරාගත් දුගී පවුල්වල සාමාජිකයන් සමග පොලිසියකින් නිලධාරීන් කිහිප දෙනෙක් බඩු මලුත් පටවාගෙන බස්රථවලින් මොරටුව නව රථ ගාල වෙත අද (21) උදෑසනම පිටත් වූහ. පොලිස් ස්ථානාධිපතිවරුත් ඒ සමග පැමිණියහ.
උත්සවය ඇරඹිනි. එහෙත් බඩු මලු බෙදන්නට එන බව කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ආවේ නැත. පැමිණියේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂය.

ඇමති නාමල් රාජපක්ෂ බඩු බෙදා දී යන්නට ගියේය. සිදුවූයේ කුමක් දැයි වටහාගත නොහැකිව ගල්කිස්සේ පොලිස් ස්ථානාධිපතිවරු තවමත් විපිලිසරවය.

ගල්කිස්ස පොලිස් ලොක්කා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුව වික්කා ද?, දේශබන්දු ඇමති නාමල්ට උත්සවයට එන්නට ඉඩහැර මග හැරියා ද, ඇමති නාමල් මෙතෙන්ට පැමිණ තිබුණේ කාගෙ ඇරයුමින් ද?. පොලිසියේ ඇත්තෝ මේ වනවිටත් සිද්ධිය ගැන කතා බහ කරමින් පසුවෙති.

Exit mobile version