ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්රයට සහ ජල සුරක්ෂිතතාවයට සිදුවිය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා කල්තියා සවිස්තරාත්මක සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රේඛීය ආයතන වෙත රජය නියෝග කර ඇත. ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමකදී මෙම උපදෙස් ලබා දී තිබේ.
මෙම විශේෂ රැස්වීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එල්-නිනෝ තත්ත්වය හමුවේ ඉදිරි යල කන්නයට අවශ්‍ය ජලය ජලාශවල ගබඩා කර ගැනීම සහ පානීය ජලය සුරක්ෂිත කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ සඳහා අදාළ ආයතනවල අදහස් සහ යෝජනා කඩිනමින් ලබා දෙන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ නිලධාරීන්ට දැනුම් දුන්නේය. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඉදිරියේදී පැවැත්වීමටද මෙහිදී තීරණය විය.
දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඇති වූ අභියෝග සාර්ථකව කළමනාකරණය කළ ආකාරයටම, මෙම බාහිර ගෝලීය අභියෝගයටද මුහුණ දීමට රජය සතු ප්‍රමාණවත් සැලසුම් පවතින බව අමාත්‍යවරු පෙන්වා දුන්හ. ස්වභාවික ආපදා කල්තියා පුරෝකථනය කළ නොහැකි බැවින්, ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට කල්තියා සූදානම් වීම අත්‍යවශ්‍ය බවද මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, රාජ්‍ය පරිපාලන ලේකම් එස්. ආලෝක බණ්ඩාර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් (වැඩබලන) ඒ.එල්.කේ. විජේමාන්නගේ, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.ආර්.ටී. වික්‍රමආරච්චි ඇතුළු කමිටු සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.







