පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සනත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද තුන්වැනි දිනටත් සලකා බලනු ලැබීය.
නීතිපති පාර්ශවයේ කරුණු දැක්වීම
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ තමන් අසාද් මව්ලානා නමැති පුද්ගලයා හඳුනන්නේ නැති බව පෙත්සම මගින් ප්‍රකාශ කර තිබුණ ද ඔවුන් දෙදෙනා එකිනෙකා මුණගැසී ඇති බවට සාක්ෂි පවතින බවය.
දැනට අත්අඩංගුවේ පසුවන ‘ඉනියභාරතී’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ප්‍රකාශයක සඳහන් වන්නේ, 2019 වසරේදී හෙන්දාවිතාරණ ඔහුව අමතා ගෝඨාභය රාජපක්ෂ හමුවන ලෙස දැනුම් දුන් බවයැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැන්වූවාය.
ඒ අනුව ඉනිය භාරතී මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ගිය අවස්ථාවේදී, පිල්ලෙයාන්ගේ පක්ෂයේ ලේකම්වරයා වූ අසාද් මව්ලානා සහ එහි භාණ්ඩාගාරික ඇතුළු පිරිසක් එහි රැඳී සිටිනු දුටු බවට වූ ඉනිය භාරතීගේ ප්‍රකාශය ඇය අධිකරණය ඉදිරියේ සලකුණු කළාය.
ඡායාරූප සාක්ෂි – අසාද් මව්ලානා පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ සමඟ සිටින අයුරු දැක්වෙන ඡායාරූප ද වගඋත්තරකරුවන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා මෙම ඡායාරූප ගන්නා ලද ස්ථානය පිළිබඳ නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය තහවුරු කළේ මෙම ඡායාරූප ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී ලබාගත් ඒවා බවය.
නීතිමය තර්කය: “පෙත්සම්කරු මෙම රිට් පෙත්සම මඟින් තමන්ගේ පෞද්ගලික නිදහස සහ ගමන් බිමන් යාමේ අයිතිය උල්ලංඝනය වන බව පවසනවා. මේවා සෘජුවම මූලික අයිතිවාසිකම්වලට බැඳුණු කරුණුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි ව්‍යවස්ථාවට අනුව මෙවැනි කරුණු විභාග කිරීමේ බලය පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි.”
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂී හේරත් අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්නාය.
පෙත්සම්කාර පාර්ශවයේ දේශනය
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයාගේ පෞද්ගලික නිදහසට බාධා වන අයුරින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා මෙම පෙත්සම ගොනු කළ බවය.
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නිදහස සීමා කිරීමට නම් ප්‍රබල සාක්ෂි සහ සාධාරණ සැකයක් තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මඟින් ද තහවුරු කර ඇතැයි ජනාධිපති නීිතඥවරයා පෙන්වා දුන්නේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ කිසිදු කොමිෂන් සභා වාර්තාවක පෙත්සම්කරු පිළිබඳව කිසිදු සඳහනක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ ප්‍රකාශයෙන් පසු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉමාම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ පවා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව කිසිදු චෝදනාවක් නැතැයි ඔහු අවධාරණය කළේය.
ඡායාරූප පිළිබඳ පැහැදිලි කිරීම: අධිකරණයට ඉදිරිපත් කළ ඡායාරූප පිළිබඳව දේශනය කළ ජනාධිපති නීතිඥවරයා, පෙත්සම්කරු කාදිනල් හිමිපාණන්, ඩග්ලස් දේවානන්දා, සම්බන්ධන් මන්ත්‍රීවරයා සහ ප්‍රභා ගණේෂන් වැනි දේශපාලන නායකයන් සමඟ සිටින ඡායාරූප පවතින බවත්, දේශපාලනඥයකු ලෙස විවිධ අවස්ථාවල ලබාගත් ඡායාරූපයක අසාද් මව්ලානා සිටි පමණින් ඔහුව අපරාධයකට සම්බන්ධ කළ නොහැකි බවත් කියා සිටියේය.
වත්මන් අගවිනිසුරු සූරසේන මෑතකදී ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවක ද අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිව කරුණු දක්වා තිබියදී, නීතිපතිවරයා මෙම ක්‍රියාවලියට සහාය දීම පුදුමයට කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ වැඩිදුර දේශන සඳහා පෙත්සම සලකා බැලීම ජූලි 09 වැනිදාට කල් තැබීය.





