GMOA අගමැති හමුවෙයි

GMOA

ඉදිරියේදි කැබිනට් අනුමැතියට අනුව පත් කිරීමට නියමිත ස්වාධීන කමිටුව වෙත සෞඛ්‍ය සේවාව සඳහා වඩා ඵලදායි වෛද්‍ය පරිපාලන ශ්‍රේණියක් ඇති කිරීමේ සංක්ෂිප්ත, මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලද යෝජනාවලියක් භාර දීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා සිදු කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු සාධක වු නොවිසඳුණු වෛද්‍ය ගැටළු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දින උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ පවත්වන ලදී.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා , සෞඛ්‍ය ලේකම්වරයා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ නිලධාරීන් සහභාගි විය.


එහිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්ණ වීමට පාදක වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය පෙන්වා දුන් අතර, එහිදී මෙතෙක් නීත්‍යානූකූල මාරු මණ්ඩල වල අනුමැතියට යටත්ව සකසන ලද පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් මාරු මණ්ඩල වල සහභාගිත්වයෙන් තොරව සකස් කිරීම සම්බන්ධ ගැටළුව පැහැදිලි කරන ලදී.

අග්‍රාමාත්‍යවරයා එම ගැටළුව ඇති වීමට හේතු වු කාරණය හොඳින් වටහාගෙන මෙතෙක් නිත්‍යානූකූල මාරු මණ්ඩල වල සහභාගිත්වයෙන් පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් ලැයිස්තු සැකසීම සිදු කළ ආකාරයටම කිසිදු වෙනසකින් තොරව සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හට උපදෙස් ලබා දුනි.

එමෙන්ම රාජිත සේනාරත්න සමයේදී නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් තොරව වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය තුල සිදු කළ වෙනස්කම් නිවැරදි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියට අනුව පත්කිරීමට නියමිත ස්වාධීන කමිටුව හැකි ඉක්මනින් ස්ථාපනය කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා හට උපදෙස් ලබා දුනි.

එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ලෙස සිදු කර ඇති කාණ්ඩ ගත කිරීම නිසා අති බහුතරයක් වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ තනතුරු, වැඩබලන තනතුරු ලෙස පැවතිමේ ගැටළුව පෙන්වා දුන් අතර, නියෝජ්‍ය හා ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ කාණ්ඩ දෙක වෙනුවට එක් වෛද්‍ය පරිපාලන ශ්‍රේණියක් ඇති කිරීම තුලින් එම ගැටළු විසඳීමේ හැකියාව පෙන්වා දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉහත ගැටළු විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් වෙත ලබා දුන් උපදෙස් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

Exit mobile version