ශ්‍රියානි විජේසිංහ –
කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ සිදු කෙරෙන PET (පෙට්) ස්කෑන් පරීක්ෂණ පසුගිය මාර්තු මස 27 වැනිදා සිට සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන FDG (Fluorodeoxyglucose) නැමැති විකිරණ රසායනික ද්‍රව්‍යය මෙරටට ගෙන්වීමට නොහැකි වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙන්නේ අදාළ රසායනිකය මෙරටට ගෙන්වන ඉන්දීය සැපයුම්කරුගේ ලියාපදිංචිය ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙම බාධාව මතු වී ඇති බවය.
මෙම විකිරණ රසායනිකය සතියකට වරක් ඉන්දියාවේ සිට ගෙන්වනු ලබන අතර, එහි සක්‍රීය භාවය පවතින්නේ පැය කිහිපයක් වැනි කෙටි කාලයක් පමණි. සාමාන්‍ය තත්ත්වය යටතේ සතියකට එක් රෝහලකදී රෝගීන් දස දෙනෙකුට අඩු පිරිසකට පමණක් මෙම පරීක්ෂණය සිදු කිරීමට හැකි වන බවද සභාපතිවරයා සඳහන් කළේය.
දැනටමත් මෙම පරීක්ෂණය සඳහා මාස 4ක පමණ දිගු පොරොත්තු ලේඛනයක් පවතින අතර, රසායනික ද්‍රව්‍ය ගෙන්වීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එම ලේඛනය තවත් දීර්ඝ වී රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
පිළිකා සෛල නිවැරදිව හඳුනා ගැනීමට, ඒවායේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යාප්තිය පරීක්ෂා කිරීමට මෙන්ම ප්රතිකාරවලින් පසුව පිළිකා සෛල විනාශ වී තිබේද යන්න තහවුරු කර ගැනීමට PET ස්කෑන් පරීක්ෂණය අතිශය තීරණාත්මක වේ.







