සැප්තැම්බරයට පෙර මෙරටින් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත දෙන්න ලෑස්තියි

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීමටත් මේ වන විට සැලකිය යුතු ප්‍රතිශයකට එන්නත්කරණය සිදුව ඇති නිසා ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමිටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ.

කොවිඩ් පැතිර යාමේ අවදානම හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කයන්ට ප්‍රමුඛතාව දෙමින් ජුලි මාසය ඇතුළත ලැබෙන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ජුලි 11 වන දින ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ 2ක්, ගම්පහට ලක්ෂ 5ක් සහ කළුතරට ලක්ෂ 3ක් බැඟින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30ට වැඩි සියලු දෙනාට එන්නත් දීම මේ මස 30 වන දිනට පෙර අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.


එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්ක සඳහා එන්නත් ලක්ෂය බැඟින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ 2ක් වෙන්කර තිබේ.

මෙම එන්නත් විධිමත්ව සහ කඩිනමින් ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙනු ලැබිණ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 1.47ක් ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිතය. ඉන් ලක්ෂ හයක් පළමු මාත්‍රාව ලබාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කෙරේ. ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්ක‍යේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

මේ වන විට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ත්‍රික්කයන්ටත්, මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබාදීමට සැලසුම් කර ඇත. ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිර යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට බෙදාහැරීමට තීරණය කෙරිණ.

එමෙන්ම එන්නත්කරණය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාල දැනුවත් කිරීමේ අශ්‍යතාව සාකච්ඡාවට ලක්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version