වෛද්‍ය විද්වතුන් මාධ්‍ය හමුවට ගියේ ජනාධිපතිට කියලා බැරිම තැනයි !

A Medical Association representative says

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් හමුවී සෘජුවම කොව්ඩි මර්දනයට අදාළ කරුණු සහ කළ යුතු දෑ පිළිබඳව දැනුවත් නොකොට මාධ්‍ය හමුවට ගොස් ජනතාව බිය නොගන්වන ලෙස ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය වෘත්තිකයන්ට දැන්වුවද මෙරට ප්‍රධාන පෙළේ වෛද්‍ය සංගම් ඊයේ (21) මාධ්‍ය හමුවට ගියේ ජනාධිපතිවරයා දෙවතාවක්ම හමුවී කරුණු පැහැදිළි කිරීමකින් පසුව බව මෙම වෛද්‍ය සංගම් නියෝජිතයෙක් ලංකාසරට පැවසීය. ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය දෙවතාවක් ජනාධිපතිවරයාට රට වසා දැමීමේ යෝජනාවක් කළද එයට ජනාධිපතිවරයා කැමැත්තක් නොදැක්වූ බවත් මේ පිළිබඳව සියලු විශේෂඥයන් සමඟ සාකච්ඡාවකට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම් ජනාධිපතිවරයාගේ සාකච්ඡාවක් ඉල්ලුවද ඒ සඳහා ජනාධිපතිවරයා වෙලාවක් නොදුන් බවත් මෙම ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මෙම ප්‍රකාශකයා සඳහන් කළේ මුලින්ම ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් ජනාධිපතිවරයා හමුවී ඉදිරියේදී රෝගය පැතිරීමේ වේගය අනුව ඉදිරියේදී ඇතිවිය හැකි රෝගීන් සංඛ්‍යාව වැඩිවීම පාලනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පනවන ලෙස ඉල්ලා ඇත. එහිදි ජනාධිපතිවරයා ඔවුන්නේ ඉල්ලා ඇත්තේ ලොක්ඩවුන් කිරීම මඟින් රටේ ජන ජීවිතයට සහ ආර්ථිකයට බලපෑම් විය හැකි බැවින් ලොක්ඩවුන් කිරීම පිළිබඳව යොජනා නොකොට වෙනත් විකල්ප යෝජනා කරන ලෙසය.

කෙසේ වුවද ඊට පසුව පසුගිය මැයි මස 10 වැනිදා දැනට කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වන ආකාරය සමඟ අඩුම තරමේ දිස්ත්‍රික මට්ටමේ සංචරණ සීමා පැනවිය යුතු බවට යෝජනා කරන අතර මේ සම්බන්ධයෙන් මෙරට අදාළ විශේෂඥ වෛද්‍යවරුන් ගේ අදහස් ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කිරීම සඳහා තම වටිනා කාලය තමන් වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලා ලිපියක් ජනාධිපතිවරයා වෙත යෙමු කොට ඇතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයටද එම අවස්ථාව ලැබී නොමැත.

පසුගියදා කොවිඩ් වසංගතය පිළිබඳව ජාත්‍යන්තර විද්වතකු වන හොංකොං සරසවියේ‍ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් සහ මහාචාර්ය කාමිනි මෙන්ඩිස් එක්ව සකසන ලද විද්‍යාව පදනම් කරගත් ශ්‍රි ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රමෝපාය සම්බන්ධ වාර්තා පළ වීමෙන් පසුව යළිත් මැයි මස 19 වැනිදා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනිය ජනාධිපතිවරයා හමුවී දින 14ක කාලයක් රට වසා තබන ලෙසට ඉල්ලා ඇතත් එම ඉල්ලීම පිළිබඳවද ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. ප්‍රජා විශේෂඥ වෛද්‍යවරියක වන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද මෙම යෝජනාවම ජනාධිපතිවරයා හමුවේ තබා ඇත.

අවසානයේ ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය විද්‍යායතන අන්තර් එකමුතුව එක්ව ඊයේ (22) මාධ්‍ය හමුවකට සහභාගී වී ඇත්තේ ජනාධිපතිවරයාට මෙම යෝජනාව කිරීමෙන් ඵලක් නොවූ තැන යයිද මෙම ප්‍රකාශකයා සඳහන් කළේය. ඒ අනුව ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශය සත්‍ය නොවන අතර වැරදි වැටහීමක් ජනතාවට යාම වැළකීම සඳහා මෙම කරුණ අනාවරණය කරන බවය.

Exit mobile version