විවෘත කිරීමට ආරාධනා කර නෑ… නුවරඑළිය ප්‍රදේශීය සභා සභාපති ජල සැපයුම නවතා රෝහලක් වසයි!

ඉදිකළේ ආසියානු සංවර්ධන බැංකුවේ මිලියන 37ක ණය ආධාර යටතේ... අරමුණ 19000 පිරිසකට සෞඛ්‍ය පහසුකම් සැපයීම...

ආසියානු සංවර්ධන බැංකුවේ රුපියල් මිලියන 37ක ණය ආධාර යටතේ ඉදි කර පසුගිය 18 දා විවෘත කරන  ලැබූ නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය යටතේ පාලනය වන   නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකය විවෘත කළ දාට පසු දින   නුවරඑළිය ප්‍රාදේශීය සභාව මගින් ජලය විසන්ධි කිරීම නිසා රෝගී ප්‍රතිකාර කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

මෙය විවෘත කිරීමේ අවස්ථාවට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ආරාධනා නොකිරීම ජල සම්බන්ධතාව විසන්ධි කිරීමට හේතුවූ බව ප්‍රාථමික වෛද්‍ය ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ පවසති.

විසන්ධි කළ ජල සැපයුම

රෝහල් පරිශ්‍රයේ කැළි කසළ බැහැර නොකරන ලෙස ප්‍රාදේශිය සභාවේ කම්කරුවන්ට සභාපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙන බව  ද ඔවුහු කීහ.


දැනට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හමුවේ අමාත්‍ය සී.බී රත්නායකට  සහ රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන්ට  පමණක් අදාළ විවෘත කිරීමේ උත්සවයට රෝහල් සංවර්ධන කමිටුව විසින් ආරාධනා කරනු ලැබ තිබේ.

එම අවස්ථාවට පැමිණි රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්   නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට උත්සවය සඳහා ආරාධනා නොකිරීම නිසා රෝහල විවෘත නොකර රෝහල් පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් ඇත.

අනතුරුව අමාත්‍ය සි.බි.රත්නායක  වෙනුවෙන් පැමිණි ඔහුගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී එස්.බි.රත්නායක   විසින් රෝහල ජනතා අයිතියට පත්කර තිබේ.

දන්ත සෞඛ්‍ය ඒකකයක්, බාහිර රෝගි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය රසායනාගාරයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, වෛද්‍ය නිල නිවාසක් සමඟ විවේකාගාර දෙකකින් සහ තවත් පහසුකම් ගණනාවකින් නානුඔය ප්‍රාථමික වෛද්‍ය  ඒකකය සමන්විතය.

නානුඔය ප්‍රදේශයේ වතු පහක සහ ගම්මාන තුනක පදිංචි 19000 ක  පමණ පිරිසකට ප්‍රතිකාර ලබා ගැනිමට ඇති ආසන්නතම රෝහල වන්නේ නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකයයි.

රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගින්ට නිරෝධායන උපදෙස් වලට අනුකූලව දෑත් සේදිමට සහ රෝහලේ දෛනික කටයුතු වලට අවශ්‍ය ජල පහසුකම් නොමැති නිසා යලිත් ජල සම්බන්ධතාවය ලබාදෙන තෙක් රෝහලේ ප්‍රතිකාර කිරිමේ කටයුතු තාවකාලිකව නතර කළ බව එහි සේවයේ නියුතු වෛද්‍යවරු පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝහල විවෘත කිරිමේ අවස්ථාවට තමන්ට ආරාධනා නොකිරිම නිසා එම රෝහල වෙත ලබාදී තිබු ජල සම්බන්ධතාවය විසන්ධි කළ බවට කරන ප්‍රකාශය පිළිනොගන්නා බවත් රෝහල ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රථම තම ප්‍රාදේශිය සභාව වෙත ජල ගාස්තු සහ ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් 54708.00 ක මුදලක්   ගෙවීමට ඇති නිසා ජල සම්බන්ධතාවය විසන්ධි කළ බවත් මෙම ගැටලුව සම්බන්ධයෙන් කළ විමසීමකදී  නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ සභාපති වේලු යෝගරාජ්  කීය.

 

 

Exit mobile version