විමර්ශන නිමවන තුරු බොරැල්ල වෙස්ටන් රෝහලේ අවයව බද්ධයට අවසර නෑ… නීතිපති අධිකරණයට දන්වයි!

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු අවසන් වනතුරු බොරැල්ල, වෙස්ටර්න් රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබාදී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස ඒ පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

බොරැල්ල, වෙස්ටර්න් රෝහලේ සිදුකෙරුණු බවට වාර්තා වූ වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍යය  සිදුකළ අනාවරණයත් සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීම අත්හිටුවන ලෙස දැනුම්දෙනු ලැබීය.

එම ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල, වෙස්ටර්න් රෝහල විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (04) කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ  මේ බව කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ අදාළ රෝහලට වකුගඩු බද්ධ කිරිම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනා විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කළ බවය.


මෙම සිද්ධීන්වලට අදාල විමර්ශන කටයුතු අවසන් වන තුරු අදාළ රෝහලට අවයව බද්ධ කිරීම සඳහා ලබා දී තිබූ අනුමැතිය අත්හිටුවන ලෙස එම කමිටුව විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිර්දේශ කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.

කෙසේ වෙතත් අවයව බද්ධ කිරීම සඳහා අදාළ රෝහලට ලබාදී තිබූ අනුමැතිය ඉකුත් දෙසැම්බර් මස 31වනදා අවසන් වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා  අධිකරණය හමුවේ කරුණු දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පණවා තිබෙන අවයව බද්ධ කිරීමේ සැත්කම් තහනම නිසා තම සේවාදායකයන්ට රෝහල් සේවකයින්ට වැටුප් ගෙවීම පවා නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නියෝජිතයෙකුගේ අධික්ෂණය යටතේ අදාළ අවයව බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් තම විරුද්ධත්වයක් නොමැති බවත් ඔහු කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම් පිළිබඳ විභාගය ලබන 11 වනදා පැවැත්වීමට ද දින නියම කළේය.

මෙම පෙත්සම් විභාගය පැවති අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විකුම් ද ආබෲ  අතර උණුසුම් වචන හුවමාරුවක් ද වරින් වර සිදු වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ

Exit mobile version