විදුහල්පතිවරුන්ගේ හදිස්සිය ගැන පාසල්  අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ඩලස්ට පැමිණිල්ලක් 

අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් සභා යටතේ පාලනය වන පාසල් බොහොමයක විදුහල්පතිවරුන් පාසල්වල සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු දෙනාම වහාම පාසල්වලට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර එය  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය පිළිවෙත්වලට සම්පූර්ණයෙන් පටහැණි බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. දිගටම ඇඳිරි නීතිය පැවැති බස්නාහිර පළාතේ පවා අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙලෙස ගෙන්වා ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් එම සංගමය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් මඟින් පළ කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ගම්පහ කොළඹ වැනි අද වන තෙක් ඇඳිරි නිතිය පැවැති ප්‍රදේශවල පාසල්වලට පිට පළාත්වල සිටින සේවකයන්ද කැඳවා ඇති අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සහ ආහාර පාන ලබා ගැනීම ද දුෂ්කර වී ඇති බවය. අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර අති පාසල් අධ්‍යාපන ආයතන පිරිවෙන ආදියේ ඩෙංගු මර්දනයට අදාල පියවර ගන්නා ලෙස නිකුත් කරන ලද චක්‍රලේඛයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල කැඳවීමේදී ඔවුන්ගේ සේවය සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස්වලට යටත්ව ලබා ගන්නා ලෙස පැහැදිලිව දක්වා ඇතත් විදුහල්පතිවරුන් එම නිර්දේශ මඟ හරිමින් සේවකයන් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව ද පෙන්වා දී ඇත. මෙම තත්ත්වය තුළ මෙම සේවකයන්ට සෞඛ්‍ය සම්බන්ධ අවදානමක් නිර්මාණය වී ඇති අතර පාසල් ආරම්භ කිරීමට දින තුනකට පෙර අදාළ සේවකයන් ගෙන්වා ගැනීම වඩාත් සුුදුසු වන බවත් මෙම සේවක සංගමය තම ලිපියෙන් අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ.

Exit mobile version