විදුලි බල මණ්ඩලයට පමණක් නොවෙයි… සමස්ථ විදුලිබල ක්ෂේත්‍රයම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි – විදුලි ඉංජිනේරුවෝ කියති!

කීර්ති ප්‍රනාන්දු –

විදුලි බල මණ්ඩලය පමණක් නොව, සමස්ථ විදුලිබ ක්ෂේත්‍රයම ප්‍රතිව්‍යුහගකරණයක් කිරීම අවශ්‍ය බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න පැවසුවේය.

විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න

විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යාංශය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල පනත ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයේ සෑම පාර්ශව කරුවෙක්ම මෙම ප්‍රතිව්‍යුගත කරණයට යටත් විය යුතු බව පවසන ඉංජිනේරු සංගමය ජනතාව අසහනයට පත් නොකරන අයක්‍රමයක්, අර්බුදයක් ඇති නොවන ආකාරයේ විදුලි ජනන ශක්තියක්,  පාඩුවක් නොලබා සේවා සපයන ආයතනයක් ලෙස විදුලි බල මණ්ඩලයට පැවැත්මක් ලබා ගැනීමේ අරමුණ ඇතිව මෙම ප්‍රතිව්‍යුගතකරණය කළ යුතු බව පෙන්වා දෙයි.

ලංකාසර ට අදහස් දක්වමින් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මෙසේ ද පැවසුවේය.

“ ප්‍රතිව්‍යුහගත කළ යුත්තේ ඇයි?. මේ වැඩපිළිවෙළ   . කාගෙවත් උවමනාවට කවුරුහරි  කියනවට කාගෙවත් උවමනාවට  කරනව ද, නැතිනම්  ඒ සඳහා සැබෑ හේතුවක් තියනව ද කියලා අපි මුලින්ම බලන්න ඔන. අපි විදුලි ඉංජිනේරු සංගමය විදිහට මේ ප්‍රතිව්‍යුහගතකරණය දකින්නෙ ඒ විදිහට.


“ අපි දන්නවා මේ රටේ විදුලි අර්බුදයක් තියනවා. පැය විසි හතරම විදුලිය දෙන්න බෑ. විදුලි අය ක්‍රමයේ අසාධාරණයක් තියනවා. ඒක ජනතාවට දරාගන්න බැරි අය ක්‍රමයක්.  මේ ප්‍රධාන   ප්‍රශ්න දෙකට අමතරව දැවැන්ත ප්‍රශ්නයක් තියනවා.  ලංකාවේ විදුලිය සැපයීමේ පැවැත්ම තියෙන්නෙ විදුලි බල මණ්ඩලයෙ. එය පාඩු ලබන්න බෑ. ලාභ ලැබීම කෙසේ වෙතත් පාඩුවක් නැතිව පවත්වා ගැනීම සඳහා විදුලි ජනන වියදම පියවා ගත හැකි අය ක්‍රමයක් අවශ්‍යයයි. “

“මේ ප්‍රධාන කාරණා තුන ඔස්සේ යම් ප්‍රතිව්‍යුහගත කරණයක් අවශ්‍ය වෙනවා. ඒකට ලංකා විදුලිබල මණ්ඩලය විතරක් ප්‍රතිව්‍යුහගතකරණය කරලා බෑ.   ලංකාවේ සමස්ථ විදුලිබ ක්ෂේත්‍රයේම යම්  ප්‍රතිව්‍යුගතකරණයක් කරන්න ඕන.”

මොනවද ප්‍රතිව්‍යුගතකරණයට ලක් විය යුතු ක්ෂේත්‍ර-

ඉහත ප්‍රශ්න තුන ඇතිවීමට    බලපාන පාර්ශවකරුවන් ගණනාවක් විදුලි බල ක්ෂේත්‍රය තුළ  ඉන්නවා.  රජය පාර්ශවයෙන් වගකීම දරන විදුලිබ අමාත්‍යාංශය ඉන් ප්‍රධාන එක් පාර්ශවයක්.  ලංකා  විදුලිබල මණ්ඩලය තව පාර්ශවයක්.    සුනිත්‍ය බලශක්ති අධිකාරිය තව එකක්.  මහජන උපයෝගීතා කොමිසම තවත් පාර්ශවයක්. මේ සියලුම පාර්ශව වගේම විදුලි පනතත් සංශෝධනය විය යුතුයි.

විදුලි පනත විදුලි පනත නිසා සමහර ව්‍යාපෘති අපට ක්‍රිියාත්මක කරන්න බැරිවෙනවා.  මහජන උපයෝගීතා කොමිෂන් සභාව.  ඒ අය  එක්ක  ඇතිවන අනවශ්‍ය ගැටුම් හේතුවෙන්    සාධාරණ අය ක්‍රමයක් හදාගන්න අපට බැරිවෙලා තියනවා.

අපි හිතනවා මේ වනවිට විදුලිය තියනවා දැන් ප්‍රශ්නය හරි කියලා. ඒත් ඒක ඉතාම තාවකාලික උත්තරයක්. මේ වනවිට විදුලි ජනනය සඳහා අති විශාල ලෙස භාවිතා කරන්නේ ඉන්ධන දහනයෙන් යොදා ගන්නා තාප බලය. ඉතා අධික විදුලි ජනන ක්‍රමයකින් තමයි විදුලිය දෙන්නේ. එහි අධි භාරය තමයි මහජනයාට අසාධාරණ අය ක්‍රමයකින් පැටවුනේ.

අද මේ ඇතිවෙලා තියන තත්ත්වයට ප්‍රධානම හේතුව අත්තනෝමතික දේශපාලන බලපෑම.  මේ වනවිට අප මගොවොට් 500ක තාප බලයක් පාවිච්චි කරනවා.  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සාම්පූර් බලාගාරය අවලංගු නොකළා නම් 2020 වනවිට එම බලාගාරය විදුලි පද්ධතියට එකතුවෙලා. ඒ බලාගාරයෙන් නිශ්පාදනයවන විදුලිය සඳහා ඩීසල්වලට සාපේක්ෂව ඉතා අඩු මිලක් යන්නේ.  අද ඇතිවෙලා තියන සියලු ප්‍රශ්නවලට පිළිතුර එතන තිබුණා. දේශපාලන අධිකාරිය ඒ උත්තරය වැලැක්කුවා. මේ ප්‍රතිව්‍යුගතකරණයේ දී වැදගත් විද්‍යාත්මක කටයුතුවලට දේශපාලනයේ අත්තනෝමතික මැදිහත්වීම නැතිකරණ ක්‍රමවේදයක් ඇති විය යුතුයි කියලා අපි  යෝජනා කරනවා. ඉන් ප්‍රකාශ කරන්නේ පුද්ගලකරණය කරලා කළු කඩ මුදලාලි කෙනෙකුට මේක දෙන්න ඕන කියන එක නෙමෙයි.

මේ ප්‍රශ්න සියල්ලම විසඳන, සේවය කාර්යක්ෂම කරන ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය වෙනවා. එහෙම නොකර මණ්ඩලය පමණක් ප්‍රතිව්‍යුහගකරණය කියලා කරන්න යන කටයුත්ත කිසිසේත්ම ඵලදායී නෑ.

ඒ වගේම මණ්ඩලයට මුදලාලිලා කීප දෙනෙක් දාලා මේ ප්‍රශ්නය විදන්න බෑ. යෝජනා කර ඇතැයි සැලකෙන විදිහට  එක් අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙනුවට අධ්‍යක්ෂ මණ්ඩල පහළොවක් දාසයක් දාලා මේක ක්‍රියාත්මක කරන්න හදනවා  නම් ඒ බර පැටවෙන්නෙත් පාරිභෝගික ජනතාව මතමයි.

එබැවින් විදුලි බල ක්ෂේත්‍රයටම රටට වැදගත් නිවැරදි   ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍යයයි. ඒ සඳහා ඉංජිනේරු සංගමය පූර්ණ සහයෝගය දෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හැබැයි ඉන් පරිබාහිරව කිසිම දේකට අපි සහයෝගය දෙන්නෙ නෑ. මේ ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධානම පාර්ශව කරුවෙක් අපි. මේක කළමනාකාරිත්වය හොබවන්නේ ඉංජිනේරුවරු. ජනාධිපතිවරයාට කතා කරලා අවස්ථාවක් අරන් ඒ සඳහා මැදිහත්වීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Exit mobile version