වැස්ස අඩු වුණත් තවමත් ගං වතුර… මරණ 17යි… 02ක් අතුරුදන්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88ක පවුල් 67613කට අයත් පුද්ගලයින් 271110ක් තවමත් පීඩාවෙන්....

තුෂාරී කළුබෝවිල –

වර්ෂාපතනය අඩුවෙමින් පැවතියත් අත්තනගලු ඔය, කැලණි ගඟ හා කලු ගඟේ ජල මට්ටම් තවදුරටත් සැලකියයුතු මට්ටමක පවතින බැවින් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

විපත්වලින් මියගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 02ක් අතුරුදන් ව ඇත.
දිස්ත්‍රික්ක 10කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 88ක පවුල් 67613කට අයත් පුද්ගලයින් 271110ක් ජල ගැලීම්, නායයාම් විපත් ආදියෙන් පීඩාවට පත් ව සිටී.

සහන කඳවුරු 106ක් තවදුරටත් පවතින අතර ඒවායෙහි පවුල් 6177කට අයත් පුද්ගලයින් 26806ක් ද නෑදෑ හිතවතුන්ගේ නිවෙස්වල ද පවුල් 5710කට අයත් පුද්ගලයන් 22975 දෙනෙක් තාවකාලික ව රැ‍ඳී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කීවේ ය.

මියගොස් ඇති පිරිස වන්නේ කෑගල්ල අරනායක නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක ම පවුලේ 04 දෙනා ද ඇතුළු ව කෑගල්ල දිස්ත්‍රික්කයේ 05 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 04 දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 03 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයේ 02 ක්, කොළඹ 01 අයෙක්, ගාල්ල 01 අයෙක් හා කලුතර 01 අයෙක් වශයෙනි.


කුරුණෑගල පඬුවස්නුවර නැගෙනහිර මොරගානේ දිය නෑමට ගිය පුද්ගලයෙක් හා ගංවතුරට ගසාගෙන ගිය කලුතර බුලත්සිංහල ඉහළ නාරගල වයස අවුරුදු 48 ක පුද්ගලයෙක් අතුරුදන් ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවදුරටත් අත්තනගලු ඔය ජල මට්ටම ඉහළ තත්ත්වයක පැවතීමෙන් මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇළ, කටාන ප්‍රදේශ ආශ්‍රිත ව ද කලු ගඟ ආශ්‍රිත ගොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, කලුතර ද කැලණි ගඟ ආශ්‍රිත දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ, වත්තල ද ජලයෙන් යට වී පවතින අතර එය ක්‍රමයෙන් පහළ බසිමින් පවතී.

තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්ප්නේ, උඩුනුවර, යටිනුවර, කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, අගලවත්ත, මතුගම, වලල්ලාවිට, හොරණ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කලවාන, අයගම, කුරුවිට, කිරිඇල්ල, නිවිතිගල, රත්නපුර, ඇළපාත, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මාතලේ දිස්ත්‍රික්කයේ අඹගහකෝරළේ, පල්ලෙපොළ, යටවත්ත, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, මාවනැල්ල, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, වරකාපොළ, දැරණියගල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, රඹුක්කන, අරනායක ප්‍රදේශවලට නිකුත් කර ඇති නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන ඒ අයුරින් ම බලාත්මක වන බව ජාතික ගොඩනැගිල්ල පර්යේෂණ ආයතනය දන්වා ඇත.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අනතුරුදායක ස්ථානවලින් ඉවත් නොවන අය වෙනුවෙන් දැඩි ව ක්‍රියා කිරීමට සිදු ව ඇති බවයි.

Exit mobile version