වව්නියාවේදී මියගිය දළ ඇතා උස්සන්න අලි රොෂාන් ඇවිත් – වනජීවියෙන් විරෝධයක්

වන අලින් සොරකම් කිරීම සම්බන්ධ වංචාවලට චෝදනා ලැබූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා වව්නියාව කනගරායන්කුලම පුදූර් ප්‍රදේශයේ තුවාල ලබා මසකට අධික කාලයක් බිම වැටී සිටි දළ ඇතා මියයාමට පෙර බැකෝ යොදා ඔසවා තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් මෙන්ම මේ වනවිටත් එය දැඩි විවේචනයට ද ලක්ව තිබේ.

යම් රෝගී තත්ත්වයක් හෝ අනතුරක් හේතුවෙන් රෝගීව මසකට අධික කාලයක් බිම වැටී සිටි දළ ඇතා සුව කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විශාල උත්සාහයක් ගෙන ඇති අතර   එම දළ ඇතා වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා තවත් පාර්ශව  මැදිහත් වී තිබේ. ඔවුන් ඊයේ සිට මෙම ඇතා එසවීමට කටයුතු කළ අතර එසවීමෙන් අනතුරුව අද උදෑසන මියගොස් තිබේ.

අලි රොෂාන් අලියා උස්සන්න මැදිහත් වෙමින් (පහළ)… දිළුම් අමුණුගම අමාත්‍යවරයා ද මේ ඡායා රූපයේ සිටී

වන අලින් සොරකම් කිරීම සහ නීති විරෝධීව රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අලි රොෂාන් සහ තවත් පිරිසක්  මෙම ඇතාට ප්‍රතිකාර ලබාදීම සඳහා ඉහළ බලපෑම මත මැදිහත් වී ඇති බවට වාර්තා වේ. අලි රෝෂාන් නමැත්තා ඊයේ දින එම ස්ථානයට පැමිණෙන විට  ප්‍රජා පොලිස් කටයුතු සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ද පැමිණ තිබේ.   ලංකාසරට වාර්තාවන ආකාරය ට ඔවුන් රජයේ ඉහළ බලවතුන්ගේ ද සහය ලබා ගෙන ඇත. .


අලියාට ප්‍රතිකාර කිරීම සඳහා පැමිණි වනජීවී දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන් අලි රොෂාන් නැමැත්තා එම ස්ථානයට පැමිණ අලියාගේ ප්‍රතිකාර සඳහා කටයුතු කිරීමට මැදිහත් වීම පිළිබඳව විරෝධය දක්වා තිබේ. සදාචාරාත්මකව එම පුද්ගලයා මෙවැනි කටයුතු සඳහා සම්බන්ධ නොවිය යුතු බවට වනජීවී නිලධාරින් අදහස් කිරීම ඊට හේතුවයි. අනෙක් කරුණ වන්නේ සිංහල රාවය සංවිධානයේ මාගල්කන්දේ සුදත්ත හිමියන් කොවිඩ් ආසාදිතයෙකු වන බැවින් අලි රොෂාන් නැමැත්තා උන්වහන්සේගේ ළඟම ආශ්‍රිතයකු බවට පත්ව සිටීමයි.

මාගල්කන්දේ සුදත්ත හිමියන් අලි රොෂාන් සමග අලි ඉස්සීමට පැමිණ සිටි අයුරු…

මඩ වගුරක වැටී සිටි මෙම ඇතාට ප්‍රතිකාර සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව තවත් ප්‍රභූන් ද වරින් වර මෙම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. ඔවුන් මෙම ඇතා ප්‍රතිකාර සඳහා විවිධ ස්ථානවලට රැගෙන යාමට වරින්වර උත්සාහ දරා ඇති අතර ඒ කිසිවක් සාර්ථක නොවූයේ ඇතා සිටි තත්ත්වය අයහපත් වූ නිසාය. ඔවුන් ද මෙම ඇතාට ප්‍රතිකාර සඳහා දේශීය වෛද්‍යවරුන්ගේ උදව් උපකාර ලබා ගැනීම පිළිබඳව ද වනජීවී නිලධාරීන්ට යෝජනා කර ඇත.

කෙසේ වුවද මාගල්කන්දේ සුදත්ත හිමියන් කොවිඩ් ආසාදිත තත්ත්වයට පත්වීමත් සමග උන්වහන්සේගේ ළඟම ආශ්‍රිතයකු වන අලි රොෂාන් ද නිරෝධායනය විය යුතුව සිටිය දී මේ අයුරින් මෙම ඇතා සිටි ස්ථානය වෙත පැමිණීම ද දැඩි කතාබහට ලක්ව තිබේ.

මෙම කණ්ඩායම ඇතා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කර ඇති අතර ඒ සඳහා වන ජීවී වන ජීවි නිලධාරීන් විරෝධය පළ කර තිබේ.

අවසන් ගමන් ගිය ඇතා

මේ පිළිබඳ ලංකාසර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් විමසූ අතර එහිදී ඔහු කියා සිටියේ අලියා වැටුණු ස්ථානය වෙත ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ වනජීවී වෛද්‍ය නිලධාරීන් ගොස් එකතු වී ප්‍රතිකාර කිරීමට උත්සාහ කළ නමුත් වෛද්‍යවරුන් තමාට දන්වා සිටියේ එම සත්ත්වයාගේ දිවි බේරා ගැනීම ඉතාම අපහසු තත්ත්වයක පවතින බව ය.

මෙම ස්ථානයට අලි රොෂාන් නැමැත්තා පැමිණි බවට තමාට ආරංචි වූ නමුත් ඔහු පැමිණියේ කෙසේ ද යන්න පිළිබඳ තමා නොදන්නා බව ඔහු කීවේය. කෙසේ වෙතත් එම කටයුතු සඳහා වනජීවි නිලධාරින් සමඟ සම්බන්ධ නොවන ලෙස  තමා ඔහුට දැන්වූ බවද  ඇමතිවරයා කීය. මෙවැනි පුද්ගලයින් මෙම කටයුත්තට සම්බන්ද වීම පිළිබඳව තමන තුළ කිසිදු පැහැදීමක් නැති වවද හෙතෙම කියා සිටියේය.

අමාත්‍ය විමලවීර දිසානායක සහ පරිසවේදී රන්වැල්ල

අලි රොෂාන් සමග පැමිණි කණ්ඩායම මෙම ඇතා බැකෝ යොදවා දෙපාරක්ම ඔසවා තැබීමට තැත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරිසරවේදී නයනක රන්වැල්ල  පවසන්නේ වෛද්‍යවරුන් මෙන්ම පරිසරවේදීන්ගේ පෙර අත්දැකීම් අනුව මෙවැනි රෝගී සිටින ඇතකු ඒ අයුරින් එසවීම ද අනතුරුදායක බව ය. එවැනි අවස්ථාවලදී ඔවුන්ගේ හෘදය, පෙණහළු සහ උරස්වලට හානි වීමේ අත්දැකීම් වනජීවී විශේෂඥයන්ට පවතින බවද ඔහු සඳහන් කළේය. රන්වැල්ල   සඳහන් කළේ මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා අයහපත් මට්ටමක පවතින අවස්ථාවක වෙනත් පාර්ශ්ව පැමිණ ඇතා එසවීමට කටයුත් කලේ නම් තමන් එය කිසිසේත් අනුමත නොකරන බවය.

 

Exit mobile version