ශ්‍රියානි විජේසිංහ –
ලෝක ජනගහනයෙන් බිලියන 04 කට ආසන්න ප්‍රමාණයක් හඳුනා ගත් මොළයේ රෝග 400 කින් පමණ පීඩා විදින බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වාදේ.
විශේෂත්වය වන්නේ මෙය බිලියන 8ක් වූ ලෝක ජන ගහණයෙන් හරි අඩක් වීමය.
ඒ අනුව, මොළයට වඩාත් බලපෑම් කරන ප්‍රධාන රෝග ලෙස හඳුනාගෙන ඇත්තේ, අංශභාගය, ඩිමෙන්ෂියාව, මිග්රේන් , හිසරද රෝග, අපස්මාරය, දියවැඩියාව හේතුවෙන් පර්යන්ත ස්නායු පද්ධතියට වන හානිය ආදිය ය.
ජනතාව දැනුවත් කිරීමෙන් 90% කට වඩා රෝග වලක්වාගත හැකි බව පෙන්වන වෛද්‍යවරු ලොව පළමුවරට මෙරට 100 දෙනෙකුගෙන් සමන්විත ස්වෙච්ඡා කණ්ඩායමක් මොළයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
“මොළයේ සුවයට නිවැරදි කරුණූ 10 ක්” නම් වූ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන තුළදී සෞඛ්‍ය සම්පන්න ආහාර රටාව, කායිකව ක්‍රියාශීලිවීම, යහපත් පුරවැසියෙකු වී සමාජීය සබඳතා ඇතිකර ගැනීම, ශාරීරික බර හා ඉනේ වට ප්‍රමාණය කළමණාකරණය, දුම්බීමෙන් වැලකීම, කොලෙස්ටරෝල් මට්ටම අවම කර ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරිම් සිදුකරනු ඇති.
බිම්මට්ටමින් ආරම්භ කරන මෙම දැනුවත් කිරීමේ වැඩ සටහන පසුව පසුව දිවයින පුරා ව්‍යාප්ත කරන බවද සෞඛ්‍ය අංශ පෙන්වාදේ.
මෙම ස්වෙච්ඡා කණ්ඩායම ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයෙන් සහ ඊට අනුබද්ධ රෝහලෙන් තෝරාගන්නා අතර ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතය.
මෙම ස්වෙච්ඡා කණ්ඩායම ඊයේ (20) දිනයේදී පුහුණුව සඳහා යොමුකල බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස පැවසුවේය.







