ලංවිම අඩුපාඩු කිසිවක් නොහදා සියලු බර විදුලි බිලට පටවලා! චම්පික රණවක කියයි

Patali Champika Ranawaka | චම්පික රණවක

විදුලි බිල ඉහළ දැමීම සමාජ සාධාරණත්ව මූලධර්මය උල්ලංඝණය කරන්නක් බවත් විදුලිබල මණ්ඩලයේ පවත්නා අකාර්යක්ෂමතාව කෙරෙහි කිසිදු සැළකිල්ලක් නොදක්වමින් මණ්ඩලයේ දුර්වලතා කෙළින්ම ජනතාව මත පැටවීමට ආණ්ඩුව ක්‍රියා කර ඇති බවත් 43 සේනාංක නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

මේ පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් චම්පික රණවක මනත්‍රිවරයා මෙසේද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“විදුලි බිල වැඩි කිරීමට අනුව ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා සමස්තයක් හැටියට 95% කින්/ දෙගුණයකින් පමණ විදුලි බිල වැඩි වීමට නියමිතය. ඒකක 30 ට අඩු ඒ කියන්නේ ඉතාමත්ම අඩුවෙන් විදුලිය පාවිච්චි කරන කණ්ඩායම් සඳහා ඒක 264% පමණ ප්‍රමාණයක්. ඒ වගේම ඒකක 180 ට වැඩියෙන් ඉහළ ගණයේ විදුලි පාරිභෝගිකයන් සඳහා 75% ක පමණ වැඩිවීමක්. වාණිජ ස්ථාන සඳහා වැඩිවීම 37% ක්. කර්මාන්ත සඳහා 86% ක්, හෝටල් වලට 67% ක්, ආණ්ඩුවේ ආයතන සඳහා 90% ක්, ආගමික මධ්‍යස්ථාන සඳහා වැඩිවීම 489% ක් හැටියට නම් වෙලා තිබෙනවා. මේක තමයි දැනට ඉදිරිපත් වෙලා තිබෙන සූත්‍රය.

මේ ගැන කියන්න තියෙන්නේ වසර 10 කින් පමණ විදුලි බිල වැඩි වෙලා නැහැ. විදුලිබල මණ්ඩලය ඉන්ධන මිල ඉහළ යාම ආදිය නිසා පාඩු ලබන බව ඇත්තක්. නමුත් මේ මේ සඳහා මහජන උපයෝගිතා කොමිසම රැස් කරපු අවස්ථාවේදීත් මං බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේ මිල වැඩිවීම තීරණය කිරීමේදී එක සමාජ සාධාරණත්වයේ මූලධර්ම පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන අය මේ සමාජයට කරන්නේ ලොකු සේවයක්. අද තියෙන විදුලි ඉල්ලුමත් එක්ක බැලුවහම වැඩි ඉල්ලුම තියෙන අය පාලනය වෙන විදියට වැඩි ඉල්ලුම තියෙන අයට බර තබන විදුලි වැඩිවීමක් සිදු කරන්න කියන එක.

අද ආර්ථික අර්බුදය හමුවේ විදුලි ඉල්ලුම ඉතා බරපතල විදිහට කඩා වැටිලා තියෙනවා. ඇත්තටම මේ වර්ෂා සහගත තත්වයත් එක්ක ගල් අඟුරු සහ ජල විදුලියෙන් පමණක් විදුලි සැපයුම ලබා දෙන්න පුළුවන් මට්ටමකට 20% – 25% ක් අතර ප්‍රමාණයකින් විදුලි ඉල්ලීමේ කඩාවැටීමක් අපිට පේන්න තියෙනවා. මේ තත්ත්වය යටතේ ඒ කඩා වැටීමට හේතු වෙලා තියෙන්නේ කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රවල ඇතිව තියෙන ආර්ථික ගරා වැටීම. දැන් මේ විදිහට මේ කර්මාන්ත සඳහා 86% කින් මේක වැඩි කළාට පස්සේ ඒ ක්ෂේත්‍රවලට ඉතාම බරපතල ප්‍රශ්ණයක් උදාවෙනවාට සැකයක් නැහැ මේක. ඉතින් ඒ නිසා මේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඒක එච්චර යුක්ති සහගත තත්වයක් වෙන්නේ නැහැ.

වැදගත්ම කාරණය තමයි විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම විදුලිබල මණ්ඩලයේ පවතින අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය මූලික ඇගයීම් පද්ධතියකින් තොරව විදුලිබල මණ්ඩලයේ සියලුම වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත වෙන්නේ නැහැ. ඒ නිසා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම් වලට සමානව තමයි ඒක සිදු කළ යුත්තේ. අපි 2015 දි අවසාන වතාවට ලංකා විදුලිබල මණ්ඩලය ලාභ උපයන ස්ථානයක් බවට පත්කළා. විදුලි බිල සඳහා මාස හයෙන් හයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වා දීමක් කළා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව විධිමත් මිල සූත්‍රයකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යක්ෂමතා කඩඉම සකස් කර ගනිමින් මේ කටයුත්ත කරන්න. ඒ සඳහා දැනටමත් අවශ්‍ය කරන ඒ කාර්යක්ෂමතා කඩයිම්, අපි අඳුන්වලා දීලා තියෙනවා විදුලිබල මණ්ඩලයට 2015 දි. ඒ අනුව, ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි නැත්නම් මේ විදුලිබල මණ්ඩලයේ සියලුම අකාර්යක්ෂමතාවයන්, දූෂණයන් ජනතාව පිට පැටවීම තමයි මේ ආකාරයට සිදුවන්නේ.”

Exit mobile version