පොහොර ගෙන්වීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ… එය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩක්… ශෂීන්ද්‍ර පාර්ලිමේන්තුවේ කියයි!

උත්තර දුන්නෙ රෝහීණී කවිරත්නගේ චෝදනාවට...

නැන‍ෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය හා චීන කාබනික පොහොර නැව සම්බන්ධයෙන් තමාගේ නම සම්බන්ධ‍ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය කරන ලද ප්‍රකාශය රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ මහතා අද ප්‍රතික්ෂේප කළේය.

සිය වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු‍වේදී අද විශේෂ ප්‍රකාශයක් කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

“ගරු කතානායකතුමනි,


2021 නොවැම්බර් මස 19 වැනි දින දින මා මේ සභාගර්භයේ නොසිටින අවස්ථාවක මගේ නම සඳහන් කරමින් සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය විසින් කරන ලද ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මගේ වරප්‍රසාද කඩවී ඇති බවද මා හට පෞද්ගලිකව අපහාසයක් සිදු වී ඇති බව ද මෙකී ප්‍රකාශය මගින් එම මන්ත්‍රීතුමිය පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත හා ස්ථාවර නියෝග 91 උල්ලංඝනය කොට ඇති බවද මා විශ්වාස කරනවා.

එබැවින් ස්ථාවර නියෝග 22 (10) යටතේ පෞද්ගලික පැහැදිලි කිරීමක් සිදුකිරීමටත් ස්ථාවර නියෝග 22 (11) යටතේ ප්‍රශ්නයක් මතු කිරීමටත් හා ස්ථාවර නියෝග 118 අනුව එකී වරප්‍රසාද ප්‍රශ්නය ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ දී ඉදිරිපත් කිරීමට ද කිරීමටද මා අපේක්ෂා කරනවා. මේ සඳහා අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ඔබතුමාට ස්තුතිය පුද කරනවා.

අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළත් සෞභාග්‍යයෙ දැක්ම යටතේ රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර භාවිතයට ගොවීන් හුරුකිරීමේ ජාතික වැඩපිළිවෙළ කොටසක් වශයෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කොට දේශීය ගොවියන් වෙත පොහොර සහනාධාරය වෙනුවට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මෙම ගරු සබාව මේ වනවිටත් දන්නා කරුණක්. මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන Colombo Commercial Fertilizer සමාගම මගිනි. එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදු කොට ඇත. විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදු කොට ඇත්තේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ණ අධික්ෂණය සහිතවය.

ගරු කතානායකතුමනි,

ඒ වගේම මම කියන්න කැමතියි. මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන චීන කාබනික පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය ද සිදුකොට ඇත්තේ මේ ආකාරයටම කෘෂිකර්ම අධ්‍යක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශය මත සිදුකරන ලද ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව බව සඳහන් කරන්න කැමතියි. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා කිසිදු දායකත්වයක් බලපෑමක් හෝ නියම් හෝ අනියම් ආකාරයකින් කිසිදු ඇඟිලි ගැසීමක් සිදුකොට නොමැති බවද මේ අවස්ථාවේදී ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. මේ නැනෝ නයිට්‍රජන් පොහොර ලංකාවට ආනයනය කළ යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සභාපති වන මොහාන් පෙරේරා යන අය විසින් පහුගිය දා පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මේ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය සම්බන්ධයෙන් මා සමග කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද බව මා මේ ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ගරු කතානායකතුමනි,
ඒ අනුව පසුගිය 19 වැනි දින ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් මාගේ නම පෞද්ගලිකව සඳහන් කරමින් මේ දියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේ දී වංචාවක් සිදුවී ඇති බවත් ඒ සඳහා මා සම්බන්ධ වී ඇති බවටත් ප්‍රකාශ කරන ලදී. පාර්ලිමේන්තු වරප්‍රසාද යන්ට මුවා වී මා නොමැති අවස්ථාවක දී මා හිතවත් මන්ත්‍රීතුමිය විසින් කරන ලද මේ ප්‍රකාශය මා තරයේ ප්‍රතික්ෂේප කරමින් එය හෙළා දකිමින් තවද 19 වූ ස්ථාවර නියෝග ප්‍රධාන පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් ලෙස මා විශ්වාස කරමි. එසේම මන්ත්‍රීතුමිය විසින් කරන ලද ප්‍රකාශයට මේ වන විට විශේෂයෙන්ම සිරස මාධ්‍ය ජාලය ඇතුළු සමහරක් මාධ්‍ය ජාලයන් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදීම තුළින් ද මා හට පෞද්ගලිකව අපහාසයක් සිදු වී ඇති අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත අනුව මගේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇති බව ඒ මගේ පෞද්ගලිකව මා හට අගතියක් සිදු කොට ඇති බවද මා තරයේ විශ්වාස කරනවා.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී කිසියම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකොට වගකිවයුත්තන්ට නීති මඟින් කටයුතු කරන ලෙස මේ වන විටත් අප රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ. එනිසාම කාරුණිකව හා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමිය දන්නා තොරතුරු හා සාක්ෂි තිබෙනවා නම් මන්ත්‍රී වරප්‍රසාද යටතේ මේ පාර්ලිමේන්තුව තුළ පෞද්ගලික අපහාස සිදු නොකොට නිත්‍යානුකුල පුරවැසියෙක් ලෙස එකී තොරතුරු හා සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙසය.

ඒ වගේම මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය සම්බන්ධයෙන් මා පෞද්ගලිකව මැදිහත් වීමක් සිදු කළ බවත් එකී ආනයන ගනුදෙනුවේදී කිසියම් වංචාවක් සිදුවී ඇති බවත් ඒ සඳහා මා මැදිහත් වී ඇති බවත් මේ දිනවල මෙම ගරු සභාව නියෝජනය කරන සමහරක් මන්ත්‍රීවරුන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරනවා. එසේ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස මේ වන විටත් මා මගේ නීතීඥවරුන්ට උපදෙස් ලබා දී තිබෙන බව මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඒවගේම මෙම නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී කිසියම් වංචාවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙනුත් ඉල්ලා සිටින්නේ මාධ්‍ය ඉදිරියේ වීරයන් නොවී තමන් දන්නා එකී තොරතුරු හා සාක්ෂි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසයි.

ගරු කතානායකතුමනි,
මේ සම්බන්ධයෙන් ඕනෑම සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයකට මුහුණ දීමට මා සූදානම් බවත් මේ නම වන පාර්ලිමේන්තුවට මා නවකයකු වුවද උපන්දා සිටම දේශපාලන පරිසරයක හැදුන වැඩුන මා හට මේ සියලු තනතුරු තානාන්තරවලට වඩා මෙතෙක් මා ආරක්ෂා කරගන්නා මගේ හොඳ නම වටින බව මා මේ අවස්ථාවේදී අවධාරණයෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගරු කතානායකතුමනි,
එබැවින් මා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ 2021 නොවැම්බර් මස 19 වැනි දා ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් මගේ නම සඳහන් කරමින් ප්‍රකාශ කරන ලද ස්ථාවර නියෝග උල්ලංඝනය කිරීමක් වන බැවින් එකී ප්‍රකාශය මගේ නම සඳහන් කොට හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසත් එමගින් මගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා මෙම ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමු කරන ලෙසත් එතුමිය වරප්‍රසාදයට මුවාවී කරන ලද ප්‍රකාශය ප්‍රචාරය කරන ලද මාධ්‍ය ආයතන මඟින් ද මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බව මා විශ්වාස කරන බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නිවැරදි කිරීම් කරන 20 ලෙස අදාළ ආයතන ලෙස ආයතනවලට දැනුම් දෙන ලෙසත්ය. බොරු මඩ ප්‍රචාරයන් නිවැරදි කිරීම සඳහා මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ඔබතුමාට ගෞරව පූර්වක ස්තූතිය පුද කරනවා.”

Exit mobile version