රෝහල හැඩ කරන්න දොස්තරකමත් එක්ක පෙදරේරු, වැද්දුම්, වඩු වැඩ කරන හරි අපූරු ඩී.එම්.ඕ. මහත්තයා.

ඔව්... අපේ රටේ තමයි... මේ කතා කරන්නේ කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ ඩී.එම්.ඕ මහත්තයා ගැන...

වෑද්දුම් වැඩ කරමින්

ලලිත් චාමින්ද –

රෝහල් හෙද හෙදියන් හා කණිෂ්ඨ  කාර්යමණ්ඩල සේවකයින් අද (08) දින ඉල්ලිම්  කිහිපයක් මුල්කරගෙන වෘත්තිය ක්‍රියාමාර්ගයකය.  ඒ අතර කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ටි ප්‍රනිත් වෛද්‍යතුමා ඇතුළු කාර්යමණ්ඩලය  රෝහලේ යටිතලපහසුකම් සංවර්ධනය කිරිමේ කටයුතුවල නියැලෙමිනි.

මේ කතාව ඒ හරි අපූරු දොස්තර මහත්තයා ගැනය.

කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ටි ප්‍රනිත්

රෝහලේ රෝගි සත්කාරක සේවා කටයුතු සාමාන්‍ය පරිදි  සිදුවෙමින් ඇත.    ප්‍රනිත් වෛද්‍යතුමා  ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ කිහිප දෙනෙකු රෝහල් ඉදිරිපිට වැසි ආවරණයක් ඉදිකිරිමේ කටයුතුවලය.    කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ තවත් සේවකයින් පිරිසක්   රෝහලේ කැඩිගිය තාප්පයක් ප්‍රතිසංස්කරණය කරමිනි.    කරන්දෙණිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිතුමා තම කාර්යමණ්ඩල සේවකයින් සමග එක්වි   බාදාම අනිමින්, එම කටයුතු සදහා සිය දායකත්වය ලබා දෙමින් සිටියේය.


මිනිස්සු කියන්නෙ කරන්දෙණිය ඩී.එම්.ඕ මහත්තා  හරි අපූරු බවය.     ඔහු වෛද්‍ය වරයෙක් ලෙස මිනිස්සුන්ට අසීමිත සේවයක් කරන්නේය.  ඊට අරමතරව තමන්ගේ විවිධ ක්ෂේත්‍රයේ පතල හැකියාව පෙදරේරුවෙක් ලෙස, වඩු කාර්මිකයෙක් ලෙස, වැද්දුම්කරුවෙක් ලෙස නැවත රෝහලටම ලබා දෙන්නේය.

රොහල් කාර්ය මණ්ඩලය සමග වැඩ කරමින්…

විවේකී අවස්ථාවක ඔහු රෝහලේ  යටිතල පහසුකම් සංවර්ධන කිරීම සදහා  බදාම අනන්නේය. බිත්ති බඳින්නේය.  රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරියා වශයෙන්  ඇතැම් අවස්ථාවල දී කණිෂ්ඨ කාර්යමණ්ඩලය හා එක් වී කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේය.  සමහර විට වෘත්තීය මහන්තත්යෙන් ඉදිමුණු අයෙකුට කරන්දෙණියේ දොස්තර මහත්තයා විකෘතියක් සේ පෙනෙන්ට ඉඩ ඇත්තේය.  ඔහුගේ වෘත්තීය නිපුනත්වය සඳහා කාලය යොදවන්නේ නැතිව සුලු සේවකයන් හා බදාම අනන, වඩු වැඩ කරන ඔහු ගැන බොහෝ විට සමාජයෙත් විවේචන තියෙන්නට පුලුවන. 

එහෙත් කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ටි ප්‍රනිත් වෛද්‍යතුමා අපට කියන්නේ මෙවැනි කතාවකි.  

“ මං රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා තමයි. මගේ අරමුණ  අපිට තියෙන සම්පත්වලින් රෝගින්ට උපරිම සත්කාරක සේවාවක් ලබාදිම.  රෝහල ඉදිරිපිට මෙම වැසි ආවරණය   ඉදිකරන්න අවශ්‍ය භාණ්ඩ මිලදි ගන්න ලක්ෂ දෙකහමාරක මුදලක් දානපතියකුගෙන් ලැබුණා. මා ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයේ සේවකයින්    අපේ ශ්‍රමය මුදල් බවට පත්කරගෙන ඒ කටයුතු කරගෙන යනවා. “

“ රෝහලේ  ආරක්ෂිත වැටක් ඉදිකළා.  ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන්නේ රෝහල් සේවකයින්. ආයතන ප්‍රධානියා වශයෙන් මගේ වගකිම තමයි මේ මිනිස්සු දිරිමත් කරන ගමන් රෝහලේ තියෙන භෞතික සම්පත්  හා මානව සම්පත් කළමණාකරණය කිරිම. රෝහලේ සත්කාරක සේවා බාධාවකින් තොරව කරගෙන යාමට  අවශ්‍ය පරිසරය නිර්මානය කිරීම තමයි මගේ වගකිම.  රෝහලේ ජලනල පද්ධතියේ, විදුලිබල පද්ධතියේ යම් කිසි ගැටලුවක් වුවහොත් ඒ කටයුතු කිරිමට කුසලතාවය තියෙන කාර්යමණ්ඩලයේ සේවකයින් අප සතුව ඉන්නවා.“

ඔහු සිනාසෙමින් මෙසේ කියන්නේය. 

“මටත් ඒ සියලු වැඩකරන්න පුළුවන්.“

වැසි ආවරණය ඉදිකරමින්

“අපේ රෝහලේ කොවිඩි වෛද්‍ය ප්‍තිකාර මධ්‍යස්ථානයක් තියෙනවා. අපට පරණ වැසිකිළි පද්ධතියක් තමයි තිබුණේ. දානපතියන්ගේ උදව් උපකාර ඇතිව  වැසිකිළි 12ක් අපි අලුත්වැඩියා කළා. කොවිඩ් වාට්ටුවල සියලු නඩත්තු කටයුතු සිදුකරන්නේ අපි. “

අවසාන වශයෙන් මම එතුමාව විමසුවෙමි.

“ ඔබ මේ වැඩ මෙහෙයවන්නෙ නැතිව අධීක්ෂණය කරන්නෙ නැතිව මේ අය එක්ක එකතු වෙලා ශ්‍රමිකයෙකුගෙ භූමිකාව කරන්නෙ ඇයි?. ඔබ රෝහලේ ප්‍රධාන පරිපාලකයා…“

ඔහු යළිත් සිනාසුනේය.

මේකත් එක් ප්‍රායෝගික පරිපාලන ක්‍රමවේදයක්… ඒ එක්කම මේ හැමදෙයින්ම මට මහා විශාල දෙයක් ලැබෙනවා. ඒ තමයි ආත්ම තෘප්තිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරන්දෙණිය දිස්ත්‍රික් රෝහලේ  දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ටි ප්‍රනිත් වෛද්‍ය තුමා කියනු අසාගෙන සිටියෙමි.   

 

Exit mobile version