අසේල කුරුළුවංශ –
නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද බවට සැක කෙරෙන, කිලෝග්‍රෑම් හතරකට ආසන්න බරින් යුත් රන් පොලු හතරක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වත්තේගම ප්‍රදේශයේ නවාතැන්පොළක සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ (22) පස්වරුවේ සිදුකළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී රුපියල් එක්කෝටි හැට නව ලක්ෂයක (16,900,000) මුදලක්ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ සැකපිට අත්අඩංගුවට ගත් මෙම පිරිස කොටහේන ප්‍රදේශයේ සිට මහනුවර බලා පැමිණ ඇති බවයි. මෙම රන් තොගය වැඩි මිලට අලෙවි කිරීම සඳහා රැගෙන ආ බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.
පොලිස් භාරයට ගත් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 930ක් බරැති රන් පොලු හතරෙන් එක් රන් පොල්ලක් කිලෝග්‍රෑම් 1 1/2ක පමණ බරකින් යුක්ත බව පොලීසිය සඳහන් කරයි. මෙම රන් තොගයේ අයිතිය තහවුරු කිරීම සඳහා කිසිදු රිසිට්පතක් ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වී ඇත. තමන් ස්වර්ණාභරණ අලෙවි සැලක් පවත්වාගෙන යන බව සැකකරුවන් විසින් පොලීසියට පවසා තිබේ.
මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත වත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අද (23) කොළඹ අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමට නියමිතය.







