රංජිත්ගේ පැමිණිල්ල ඉවත දමන්නැයි ඉල්ලා අකිලගෙන් උසාවියට පැමිණිල්ලක්

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 294 දෙනෙක් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ඉවත දමන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(12) විරෝධතා ගොනු කරමින් ඉල්ලා සිටියේ ය.

පැමිණිලිකරු සත්‍ය තොරතුරු වසන් කරමින් විශ්වාසයේ මූලධර්මය කඩ කර ඇති බවත් ආත්ම යහපත්  චේතනාවෙන් පැමිණිලිකරු අධිකරණය හමුවට පැමිණ නැති බවත් අකිල විරාජ් කාරියවසම් මහතා ගොනු කර ඇති විරෝධතා මගින් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මෙමගින් පෙන්වා දී ඇත්තේ පැමිණිල්ලේ නඩු නිමිත්තක් නැති බවත් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 15 16 40 සහ 46 (2) වගන්තිවලට පටහැනිව ගොනුකර තිබෙන බවත්ය.


එළඹෙන මහ මැතිවරණයට සන්ධානයකින් තරඟ කිරීමටත් එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමටත් ජනවාරි මස තිස් වැනි දින රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළ බවත් ඒ අනුව සන්ධානයෙහි සලකුණු සහ ව්‍යවස්ථාව පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා තම විරෝධතාවලින් පෙන්වාදී ඇත.

එවැනි පසුබිමක් මත පසුගිය මාර්තු මස 4 වැනි දින සමගි ජන බලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර පත්කර ඇති බව දැනුම් දුන් බව ද එජාප මහලේකම්වරයා සිය විරෝධතා මගින් පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමගින් එජාප ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බැවින් පැමිණිල්ල ඉවත දමන ලෙසත් වාරණ නියෝගය ගැන අතුරු නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙස ද කාරියවසම් මහතා ඉල්ලයි.

Exit mobile version