* උදයවයි මාවයි අයින් කළේ බැසිල් කී නිසා
* අගමැති මේ තීරණවලට කැමති නෑ.. ඒත් වෙන්නේ වෙන එකක්
* බැසිල් මේ රට අගාධයට ගෙනියන්නේ අමෙරිකාවේ කොන්ත්‍රාත්තුවකට
* මේ රට පාවානොදුන්නොත් බැසිල්ට අමෙරිකාවේ සුවසේ වසන්න බෑ
* බැසිල් ජනපති කරන්න තරම් අපිට අසනීපයක් නෑ
* පොහොට්ටුව අමුතු පක්ෂයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමති මණ්ඩලයක යළි තමා අමාත්‍ය ධුර දෑරීමට සූදානම් නැතැයි අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
සිය අමාත්‍ය ධුරයට අහිමිවීමෙන් පසුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයින් සමඟ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම ඇමතිකම අහිමිවීමට හේතුවූ කරුණු පිළිබඳ මෙම කරුණු දැක්වීය.
“අපිට ලැබිල තියෙන තොරතුරුවල හැටියට ඒ ප්‍රකාශවලින් පස්සේ (මුළු රටම හරි මඟට ප්රකාශනය එළිදැක්වීමේදී කළ කතාව) බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කියලා තියෙනවා මමයි උදය ගම්මන්පිල ඇමති තනතුරුවල ඉන්නවා නම් ඇමති මණ්ඩලේට එයා එන්නේ නෑ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම, පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ සහෝදරයා ඇමති මණ්ඩලයට නොඑන එක වළක්වා ගැනීම සඳහා අප දෙදෙනා අමාත්‍ය තනතුරුවලින් ඉවත් කරන්න. ඒක ගැන අපිට කිසිම කනගාටුවක් හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් අපිට නෑ.
අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බරපතළ ලෙස බැසිල් රාජපක්ෂ කියන චරිතය විසින් ඔහුට අවශ්‍ය කරන පරිදි පාලනයට නතු වෙච්ච චරිතයක්. බැසිල් රාජපක්ෂ කියන කෙනා පොදුජන පෙරමුණ කියන පක්ෂය තනි භුක්තිය තමන් අතේ තියාගෙන ඉන්නේ. පොදුජන පෙරමුණ පක්ෂයෙහි සභාපති කවුද? භාණ්ඩාගාරික කවුද ලේකම් කවුද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ අපි නම් දන්නෙවත් නැති කට්ටියක්. ඒක අමුතු පක්ෂයක්. හරිනම් ඕකෙ ඉන්න ඕන සභාපති මහින්ද රාජපක්ෂ. ලේකම් . ඩලස් අලහප්පෙරුම, ජාතික සංවිධායක අහවල් පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍යවරයා එහෙම නේ ඉන්න ඕන. ඒ පක්ෂයේ එහෙම වෙලා නෑ. ඒක තනි පෞද්ගලික දේපලක් . ඒ ඒ පෞද්ගලික දේපල තියෙන බලය පාවිච්චි කරලා ජනාධිපතිවරයාව තමන් අභිමත තීරණ ගැනීම කරා තල්ලු කරනවා. කණගාටුවට කාරණය ජනාධිපතිවරයාටත් ඒ බලපෑමෙන් අත්මිදෙන්න බැරිවෙලා තියනවා.
කෙසේ වෙතත් අපි ගතවන කාලය තුළ අපේ අමාත්‍ය තනතුරුවලින් අපේ රටට, මම ගත්තොත් මගේ විෂය කර්මාන්ත. ඒ විෂයට අදාළ පිරිස වෙනුවෙන් අපි අපට පුළුවන් උපරිමයෙන් කැප වුණා. උදය ගම්මන්පිල ඇමතුමත් එහෙමයි, අපි ඒ පිළිබඳව සතුටු වෙනවා. අපි මේ තනතුරුවලින් ඉවත් කිරීම පිළිබඳව කිසිම ආරවුලක් නෑ. කොහොමත් අපි හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නේ මේ තනතුරු ලැබෙයිද නොලැබෙයිද කියන එක ගැන හිතන්නේ නැතුව. එක් තනතුරු තිබුණත් නොතිබුණත් අපේ දේශපාලනය එහෙමමයි. අපි කරලා තියෙන්නේ ජනවරමට අනුකූලව ක්‍රියා කිරීම පමණයි. ජනතා අභිලාෂයන් වලට එරෙහිව ක්‍රියා කරද්දී ආණ්ඩුවට එරෙහිව අපි කටයුතු කරලා තියෙනවා. ඒකට ප්‍රතිචාරය අමාත්‍ය තනතුරු වලින් ඉවත් කිරීම නං මට ඒකට කියන්න තියෙන්නේ බොහොම ස්තූතියි කියලා.
අපි ඒ ප්රකාශනයෙන් (මුළු රටම හරි මඟට) ඉදිරිපත් කළේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ කරුණු පිළිබඳ. ඉතින් එය ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන ඇමැතිවරයා හරි කවුරුහරි හිතනවනම් අපි දෙන්නා ඉවත් කළාම ආර්ථික අර්බුදය හරියයි, ඩොලර් උනනවා, විදුලි කප්පාදුව නතරවෙනවා, පුදුම ආශ්චර්යයක් වෙන්න තියෙනවා. මං හිතන්නේ ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්නා කියලා හිතන්න ඇති ආර්ථික අර්බුදයට ගත යුතු පියවර හැටියට වෙන්න ඕන අපි දෙන්නව ඒ අමාත්‍ය තනතුරෙන් ඉවත් කරන්න ඇත්තේ. එහෙම හරි කමක් නෑ ඒ අයගෙන් රටට ගොඩ එන්න පුළුවන් නම් කියලා.”
“ආයෙ නම් මේ ජනාධිපතිවරයාගේ ඇමති මණ්ඩලයට ඇමති ධුරයක් දරන්නේ අපේ සූදානමක් නෑ. අපි දන්නා විදියට මේ කටයුතුවලට අගමැතිතුමාගේ කැමැත්තක් නෑ. එතුමා දන්නවා දේශපාලනයේ විදිය. ඔව් මේ ආණ්ඩුව පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ තමයි. උදය ගම්මන්පිල මහතාගේ වචනයෙන් කිව්වොත් අවලස්සන ඇමරිකානුවා.
ඒ විදිහේ අභ්‍යන්තර පාලනයක් ඔහු සතුව තිබෙනවා. ඒ පක්ෂයේ ඉන්න අසරණ මන්ත්‍රීවරුන් වත් ඔහු පාවිච්චි කරනවා. අගමැතිතුමා නං මටත් උදයටත් අද කතා කළා. මේ ගැන එතුමා යම් වේදනාවක ඉන්නේ. නමුත් ඔහුගේ ස්ථාවරය නෙවෙයි අවසානයේ තීන්දු වෙලා තියෙන්නේ.”
මාධ්‍යවේදියෙක් මෙහිදී විමසා සිටියේ වැරදුණේ කොතනදැයි මුලින්ම දැනගත්තේ කෙසේද කියායි.
ඊට පිළිතුරු දුන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා.
“ඇත්ත වැරදීම තියෙන්නේ බැසිල් රාජපක්ෂට. මගේ කියවීම මම ටිකක් මේ තම්බල කිව්වා අර සමුළුවේදී දැන් මට අමුවට ම කියන්න පුළුවන්. තම්බලා කිව්වත් සැර වැඩියි කියලා නේ දැන් ඔය කියන්නේ.
බැසිල් රාජපක්ෂට තියෙන්නේ ඒක කොන්ත්‍රාත්තුවක්. ඔහුගේ විශ්‍රාම ජීවිතය ගෙවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එහේ තමයි එයාගේ දේපළ තියෙන්නේ. ඇමරිකාවට ඕන වෙලාවක පුළුවන් බැසිල් රාජපක්ෂව money laundering කියන චෝදනාවට යටතේ අත්අඩංගුවට ගන්න. ඒක වෙන්නේ නැත්නම් වෙන්නේ නැත්තේ කොහොමද? ඇමෙරිකාව වෙනුවෙන් ඔහු සේවය කළ යුතුයි. මේ ආර්ථික අර්බුදය ඉතාම දැවැන්ත ආපදාවක් බවට පත් වෙන්න හැරලා අර ඉන්දුනීසියාවේ වගේ විෂම මානසිකත්වයට මහජනයා පත්වෙන්න ඇරලා, අමෙරිකානු උපාය මාර්ගයට මේ රට ගොදුරු කරන එක තමයි බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව. ඔහු වැඩ කරන්නේ ඒ අරමුණින් ඒ නිසා අවලස්සන ඇමරිකානුවා අවසානයේ විශ්‍රාම ජීවිතය සතුටින් ගත කරන්න ඕන දරුවොත් එක්ක මුනුබුරොත් එක්ක. ඇමරිකාවේ එතැන විශ්‍රාම සුවයෙන් නිදහසේ ඉන්න නම් මෙතන පාවාදීම කරන්න ඕන. මෙතන පාවාදීම නොකර එතන විශ්‍රාම සුවයෙන් ජීවිතය ගත කරන්න බෑ .එහෙම කරන්න ගියොත් money laundering වලට අහුවෙන එක වලක්වන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. අපි කියන්නේ මෙහෙම මිනිහෙක්ගේ පුද්ගලික දුෂ්ටකමකට මේ රටත් බිලි දෙන්න ඉඩ දෙන්න බෑ.”
මාධ්‍යවේදියකු මෙහිදී විමල් වීරවංශ මහතාගෙන් විමසුවේ බැසිල් රාජපක්ෂ කියන්නේ සූක්ෂම මොලයක් තියෙන අමාත්‍යවරයෙක් නේද යනුවෙනි.?
මොන සූක්ෂමද අනේ.. හොරකමට විතරක් සූක්ෂ්මයි.







