මැරෙන්නට පෙර දිනක ඉෂාලිනී බලන්න බදියුදීන්ගේ නිවසට ගියත් නිවසේ අය ඇය බලන්න දුන්නෙ නෑ,.. සොයුරා කියයි…

මිය ගිය තම සොහොයුරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින්ගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයට ගිය දින සිට මිය යන තෙක්ම යළි තම නිවසට නොපැමිණි බවත්, ඇය බැලීමට තම දෙමව්පියන් සහ තමන් බදුර්ඩින් ගේ නිවසට ගිය අවස්ථාවේ ඇය බැලිමට නිවසේ අය අවස්ථාව ලබා නොදුන් බවත් මියගිය ජේ.ඉෂාලිනිගේ සොහොයුරු තිරුප්‍රසාද් පැවසීය.

ඔහු මේ බව පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ හත බෞද්ධාලෝකමාවතේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදි පිළිස්සී මළ අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයන් අද (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවෙමින් සිටි අවස්ථාවේ දී ය.

වතු යායෙන් ආරම්භ කළ උද්ඝෝෂනය හැටන් ඩයගම නගර දක්වා ගමන් කර ඩයගම නගර මධ්‍යයේදි ද උද්ඝෝෂණය සිදු කලහ.


එම වතු යායේම පදිංචි තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් 2020 ඔක්තොම්බර් මස රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ගොස් තිබුණේ රුපියල් විසි දහසක මාසික පඩියකටය.
2004.11.12 දින උපත ලද ජේ.ඉෂාලිනි නැමති ජිවිතක්ෂයට පත් දැරිය රිෂාඩ් බදුර්ඩින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි ඉකුත් (03) දින ඇයගේ සිරුරට ගිනි ඇවිලිම නිසා දැඩි පිලිස්සුම් තුවාල සහිතව ජාතික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් අනතුරුව ඇය (15) දින ජිවිතක්ෂයට පත් විය.

බාල වයස්කාර දැරිය ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව සිදු කරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදි ඇය ලිංගික දූෂණයට ලක් වී ඇති බවට තහවුරු වි ඇති නිසා ඇයව දූෂණය කළ අය අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවෝ ඉල්ලා සිටියහ.තවද වතු ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි තරුණියන් සහ වතු කම්කරු කාන්තාවන් විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිටින බවත්, එම කාන්තාවන්ටද මෙවැනි ඉරණමක් ඉදිරියේදි සිදු නොවිය යුතු බවත් උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවෝ කියා සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය ජේ.ඉෂාලිනිගේ අවසන් කටයුතු ඉකුත් (17) දින ඇය පදිංචි ඩයගම බටහිර කොටසේ වතු යායේ පොදු සුසාන භුමියේදි සිදු කළ අතර, ඇයගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සහ නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා වෙන් වෙන්ව පරික්ෂණ ආරම්භ කර ඇත.

Exit mobile version