මළකඩ පොඩ්ඩක් කැඩිලා ආවොත් ලබන අවුරුද්දේ එක්දින ලෝක ශූරතාවය දිනා ගත හැකියි – කුමාර ධර්මසේන!

අවුරුදු දෙකක් තිස්සේ  විනිසුරුවරයෙක් ලෙස අපේ කණ්ඩායමේ ක්‍රීඩා විලාශය දුටුවා.... ඔවුන් ඉතාම දක්ෂයි

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ආකාරය විනිසුරුවරයෙක් ලෙස පසුගිය දෙවසර තුළ සමීපව නිරීක්ෂණය කළ බවත්  ඉතා දක්ෂ දරුවන් සහිත කණ්ඩායමේ සැලසුම් බිඳී යෑම සහ වාසනාවේ අඩුව නියමිත ඉලක්කය කරා යෑම අවහිර කළ බවත්  ජාත්‍යාන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන අද (16) කටුනායක ගුවන්තොටුපලේ දී මාධ්‍ය අමතා පැවසුවේය.

ඔහු පැසුවේ වර්ෂ 1999 දී ඔවුන් ක්‍රීඩා කළ ක්‍රිකට් සහ වර්ෂ 2022 දී ක්‍රීඩා කරන ක්‍රිකට් සංසන්දනය නොකරන ලෙසත් එදා ගැසූ  ලෙසට අද ක්‍රිකට් ගැසීමට ගියහොත් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවන බවත්ය.

තාක්ෂණය අතින් ඉතා ඉහළ රිද්මයක් සිහිත දක්ෂ ක්‍රීඩකයින්ගේ  තාක්ෂණික රිද්මයට අනුගතවීමේ රටාවේ ඇති මළකඩ කඩා ගනු ලැබුවහොත් ලබන වසරේ ලෝක කුසලාන එක්දින අන්තර්ජාතික තරගාවලියේ අවසන් වටයට පැමිණිය හැකි බවට ඔහු විශ්වාසය පළ කළේය.

ඔහු මෙසේ ද කීවේය.


“ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩාක් හොඳයි. මේ වගේ ජාත්‍යාන්තර තලයේ ක්‍රීඩා කරනකොට ඒ අවස්ථාවලදි හරියන විදිහට ක්‍රීඩා කරන්න ඕන. පෙරහුරුවලට  ලෑස්ති වෙන්න ඕන. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවෙ ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීම ලේසි නෑ. “

“එක් එක් අවස්ථාවන් හදන්න ඕන. කොහොමද ඒ අවස්ථාවල ක්‍රීඩා කරන්නෙ කියලා අධ්‍යනය කරන්න ඕන. ඒකට තමයි කෝචින් ඩිපාර්ට්මන්ට් එකක් තියෙන්නෙ. මැනේජර්ස්ලා ඉන්නෙ. මම හිතනවා ඒ අය ඒක කරන්න ඇති. නමුත් අපට අති විශේෂ සැලසුමක් තිබුණ නැති බව පෙනුනා.  ඒ වගේම ක්‍රීඩකයින් අබාධයාට ලක්වීම වැනි හේතු නිසා කණ්ඩායම සමබර කරගන්න බැරි අවස්ථාවක් ආවා. “

“තරගාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුනත් එය හොඳ අත්දැකීමක් කරගෙන ඉදිරියේ දී  ක්‍රීඩා කරයි කියලා මා පුද්ගලිකව  හිතනවා.“

“ඒ වගේම අන්තිම අවරුදු දෙකේම ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක අම්පයර් කරපු නිසා මම දන්නවා ළමයින්ගෙ හැකියාව ඉතාමත් හොඳයි. නමුත්  අපි දැක්ක පාකිස්ථානයට කොහොමද අවස්ථාව ලැබුණෙ කියලා සෙමි ෆයිනල් එක ක්‍රීඩා කරන්න. අපේ කණ්ඩායමට දක්ෂතාවය කෙසේ වෙතත් වාසනාවේ පොඩි අඩුවක් තිබ්බා කියලා මං පෞද්ගලිකව විශ්වාස කරනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුමාර ධර්මසේන කීවේය.

Exit mobile version