මහින්දානන්දලා කඩන්න යෝජනා කළ බෝගම්බර ගොඩනැගිල්ලට අත නොතබන බව විදුර නුවර ඇවිත් කියයි….

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද පුරාවිද්‍යා ස්මාරකයක් වූ  මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල ජාතිය සතු වස්තුවක් බවත් එය කඩා ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් ජාතික කලා උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක   පවසයි.

මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරයා ඊයේ (31) මේබව ප්‍රකාශ කළේය.

බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධන කිරීමේ සැළස්ම පිළිබඳව මෙහිදී රාජ්‍ය ඇමැතිවරයා නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.


බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ල කඩා ඉවත්කරන බවට කිසියම් පිරිසක් ප්‍රචාරයක් ගෙන යමින් තිබෙන බවත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

බෝගම්බර බන්ධනාගාරය ආශ්‍රිත භූමියේ සුවිශේෂි මිශ්‍ර ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් එහිදී මෙරට අවසන් රාජධානය වූ මහනුවර කේන්ද්‍රීයාව තවමත් ආරක්ෂා වී තිබෙන සංස්කෘතික හා කලා අංගයන්ට මූලිකත්වය දෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

මහනුවරට ආවේනික පාරම්පරික කලාවන් ඉස්මතු කරමින් නිර්මාණ කාර්යයේ නියැලෙන ශිල්පීන්ට ඔවුන්ගේ නිර්මාණ එළිදැක්වීමට අවශ්‍යය වටපිටාව මේ තුළ ඇති කරන බවද ඇමතිවරයා කීවේය.

නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර අධිකාරිය සම්බන්ධ කරගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත්කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර,ගුණතිලක රාජපක්ෂ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් යන  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කළ යුතු බවට  ප්‍රකාශ කර තිබුණේ  රජයේ ප්‍රධාන කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක්වන කෙහෙලිය රඹුක්වැල්ල සහ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි. පසුගියදා නුවර දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ දී මෙම යෝජනාව ගෙනා ඇමතිවරුන් දෙපළ  අනතුරුව ඒ පිළිබඳව දිගින් දිගටම ආදාල පාර්ශවයන් ගෙන්වා බලපෑම් කර ඇත. ඔවුන් පවසා තිබුණේ මෙම ස්ථානයේ පවතින ඉඩම් මිල ගැන සැලකිල්ලට ගෙන සංවර්ධන සැලසුම් සකස් කළ යුතු බවය.

පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ගේ ස්ථාවරය වී තිබුණේත් මෙම ගොඩනැගිල්ල ආරක්ෂා කරගත යුතු බවය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට නම් රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත වෙනස් කළ යුතු බවය. නැතිනම් මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගැසට් කරන ලද ස්මාරක ලයිස්තුවෙන් ඉවත් කළ යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සංස්කෘතික රාජ්‍ය ඇමතිවරයාගේ මෙම මැදිහත්වීම ඉතා යහපත් ප්‍රවණතාවයක් බව උරුම කළමනාකරණ අංශ පවසයි.

Exit mobile version