මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම් සැක සහිතයි

පුළුල් විමර්ශෂණයක් කරන්නැයි අධිකරණ ඇමති පත්කළ කමිටුවෙන් නිර්දේශයක්

මහර බන්ධනාගාරයේ පසුගිය නොවැම්බර් 29 වැනිදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද විශේෂ කමිටුව මෙම රැඳවියන්ට වෙඩි වැදී ආකාරය පිළිබඳව තවදුරටත් පුළුල් විමර්ශෂණයක් සිදු කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් එම සිදුවීම සිදුවූ ආකාරය සහ ඔවුන් තත්ත්වය පාලනය කිරීමට වෙඩි තැබූ තැබූ ආකාරය පිළිබඳව ලබා දුන් ප්‍රකාශ සහ මෙම රැඳවියන්ට වෙඩි තබා ඇති ආකාරය අතර පරස්පරතා සාක්ෂි මඟින් හෙළිදරව් වීම බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාසරට කරුණු හෙළි කළ ආරංචිමාර්ගවලට අනුව රැඳවූවන්ගේ නොසන්සුන් තත්ත්වය හමුවේ එම රැඳවූවන්ට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇත්තේ අසාමාන්‍ය ආකාරයට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශණවලින් සහ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පෙනී ගොස් තිබේ.


රැඳවූවන් කලහාකාරී ලෙස හැසිරෙමින් ප්‍රධාන ගේට්ටුව දෙසට පැමිණි බවත් දහසකට අධික රැදවූවන් ඒ අතර සිටි බවත් ඔවුන් ගේට්ටුව කඩාගෙන බන්ධනාගාරයෙන් පළායාමට සූදානම්ව සිටි බැවින් එය වැළැක්වීමට ගේට්ටුව ඉදිරිපිට සිට වෙඩි තැබූ බවත් මහර බන්ධනාගාරයේ බලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ටත් අධිකරණ ඇමති අලි සබ්‍රි පත්කරනු ලැබූ කමිටුවටත් සදහන් කර තිබුණි.

එහෙත් වෙඩි වැදී මිය ගිය රැදවූවන්ට වෙඩි වැදී ඇති දිශාවන් සහ ආනතීන් මෙන්ම බන්ධනාගාරයේ ගොඩනැගිලිවලට වෙඩි වැදී ඇති ආකාරය විමසීමේදී පෙනී ගොස් ඇත්තේ වෙඩි තැබීම් සිදුව ඇත්තේ ගේට්ටුව දෙස සිට නොවන බවය. ඒ අනුව ඇමතිවරයාගේ කමිටුව නිර්දේශ කර ඇත්තේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු බවය.

ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින්ද තහවුරු වී ඇත්තේ රැඳවූවන්ට වෙඩි තබා ඇත්තේ ගේට්ටුව දෙස සිට නොවන බවය. බන්ධනාගාරයට පිටත ගේට්ටුවට දකුණු පැත්තෙන් ඇති නිවසක වහලය මත සිටද රැඳවූවන්ට වෙඩි තබා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

රැඳවූවන්ට වෙඩි වැදී ඇති ආකාරය දෙස විමසීමේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන්ට විවිධ කෝණවලින් වෙඩි තබා ඇති බවය. ඒ අනුව පැහැදිලි වී ඇත්තේ වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරීන් තැන් තැන්වල සිට හිතුමතේට වෙඩි තබා ඇති බවය.

මහර බන්ධනාගාර බලධාරීන් සඳහන්කර ඇති ආකාරයට එකවර දහසක් පමණ රැඳවූවන් පිරිසක් ගේට්ටුව දෙසට පැමිණි අවස්ථාවේදී වෙඩි තැබුවේ නම් එම වෙඩි රැදවූවන් සිය ගණකට වැදී තුවාල සිදුවිය යුතුය. එහෙත් සියයකට වැඩි රැදවූවන් පිරිසක් තුවාල ලබා ඇතත් ඒ කිසිවෙක් වෙඩි වැදීම්වලට ලක්ව නැති බව එම විමර්ශෂණ වාරතා හෙළි කරයි. ඔවුන්ගෙන් වෙඩි වැදී ඇත්තේ රැදවූවන් 11 දෙනෙක් පමණි.

ඒ 11 දෙනාම මිය ගොස් තිබීමත් ඒ අයට වෙඩි පහරවල් එකකට වඩා වැදී තිබීමත් සැකසහිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනී අනාවරණය වී ඇත්තේ මිය ගිය එකම සිරකරුවන්ට ඈතින් මෙන්ම සමීපයෙන්ද වෙඩි වැදී ඇති බවය. අඩි කිහිපයක් ළග සිට වෙඩි තැබීමේ ලක්ෂණද එම සිරුරු පරීක්ෂා කිරීමේදී අධිකරණ වෛද්‍යවරුන් හදුනාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉදිරියේදි මෙම වෙඩි තැබීමට සම්බන්ධ වූ නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව සිටී.

Exit mobile version