මහඡන්දේ ඇස්තමේන්තුව කෝටි 200කින් නගී

තවත් ඡන්ද පෙරහුරුවකට කොමිසම ලෑස්තියි

ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කාර්ය මණ්ඩලයට අලුතින් 15000ක් පමණ බඳවා ගැනීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (7) අම්බලන්ගොඩ පෙරහුරු ඡන්ද  මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

සෞඛ්‍ය ආරක්ෂක කාර්යමණ්ඩලවලට අමතරව මැතිවරණ කාර්ය මණ්ඩලවලට අයත් කටයුතු දියත් කිරීම සඳහා ඉහත පිරිස් අවශ්‍ය වන බවත් එලෙස අමතරව බඳවා ගන්නා අයට කිසියම් ගෙවීමක් සිදු කළ යුතු බවත් හෙතෙම කීය.

මේ අනුව මහමැතිවරණය පැවැත්වීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් කෝටි 700ක් පමණ වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කළ ද එය රුපියල් කෝටි 900ක් පමණ දක්වා වැඩි වනු ඇති බව කොමසාරිස්වරයා අනාවරණය කළේය.


අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේදී අද පැවැත්වූ ඡන්ද පෙරහුරුව සාර්ථක වූ බවත් සෞඛ්‍ය පිළිවෙත්වලට අනුව මහ මැතිවරණය පැවැත්වීම සඳහා වතුකරයේ හෝ ඈත පිටිසර ගමක තවත් දිනෙක ඡන්ද පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තම කාර්ය මණ්ඩලය මේ වනවිට පියවර ගෙන ඇති බවත් දේශප්‍රිය මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති අවස්ථාවක පවත්වන ඉදිරි මහ මැතිවරණය සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අකුරටම පිළිපදිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීවේය.

Exit mobile version