බොදු පිළිවෙත සිරිමත් කරන වප් පොහොය…

දේවතාවරෝහණය දැක්වෙන සිතුවමකි..

අවුරුද්දේ දහවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ එළඹෙන පොහෝ දිනය වප් පුරපසළොස්වක පොහෝ දිනය වේ.  මෙවර වප් මස පොහොය දෙකකි.   ඔක්තොම්බර් මස 01 යෙදුනු පොහොය අධිවප් පොහොය ලෙස සැලකිනි. වප් පසළොස්වක පොහොය අදට (30) යෙදී තිබේ.

මෙම පොහොය බෞද්ධ සාහිත්‍යයික අන්තරගතයන් තුළ මෙන්ම ඓතිහාසික සංසිද්ධි වශයෙන් ද වැදගත් තැනක පිහිටුවා තිබේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම වප් පුරපසළොස්වක පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර ප්‍රමුඛ වන අයුරු පෙනේ.


බෞද්ධ සාහිත්‍යය ප්‍රකාරව බුදුරජාණන් වහන්සේ සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල සෛලාසනයෙහි වස් සමාදන්ව මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙව් පිරිසට අභිධර්මය දේශනා කර මාතෘ දිව්‍යරාජයා ඇතුළු අසූකෝටියක් මාර්ග ඵලයන්ට පත්කර අනතුරුව වප් පොහෝදින වස් පවාරණය කර තව්තිසා දෙව් ලොවින් ශක්‍ර බ්‍රහ්මාදී දෙවිවරුන්ගේ ගරු බුහුමන් මධ‍්‍යයේ රන් ඉනිමඟින් දඹදිව සංකස්ස නගර ද්වාරයට වැඩම කළ බව පැනේ.

ඒ පෙළහර දැක සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධි විහාරික භික්ෂූන් පන්සීයක් පමණ රහත් වූහය ද  මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ‍  මෙහිදී පැවිදි බව ලබාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලබාගත්තේ ද යැයි ද එම සාහිත්‍යය කියයි.

මහාවංශය ප්‍රකාරව    දෙවන පෑතිස් රජුට ඥාතීත්වයක් ඇති අරිට්ඨ අමාත්‍යවරයා මෙහෙණි සස්න පිහිටුවීමට හා ජය ශ්‍රී මහා බෝධිය වැඩම කරගෙන ඒමට දූත පිරිසක් දඹදිවට පිටත්කර හැරියේ වප් පොහොය  දිනයකය.   අරිට්ඨ කුමරු මහණ උපසම්පදා ලැබගෙන පන්සීයක් පිරිස සමඟ මහණ උපසම්පදාව ලබාගත් පසු ධර්ම විනය හදාරා ථූපාරාමයට රැස්වී විනය සංගායනාවක් සිදුකරන ලද්දේ ද   වප් පුන් පොහෝ දිනකදී ය.

‘වස්සානේ වස්සං උපගන්තුං‘ යන බුද්ධ නියමයට අනුව උපසපන් භික්ෂූන් වහන්සේලා ඇසළ පුන් පොහෝ දින පොහොය කර අව පැළවිය දවසේ පෙරවස් සමාදන් වූ භික්ෂු වස් තෙමස අවසන්ව මහා පවාරණය සිදු කරන්නේ මෙම වප් පොහෝ දිනය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වප් පොහෝ දිනට පසු දින සිට ඊළඟට එළඹෙන ඉල් පොහෝ දින දක්වා කාලය චීවර මාසය ලෙස නම්කර ඇත. මෙම මාසය චීවර මාසය ලෙස නම් කරනු ලබන්නේ වසරකට වරක් සිදුකරන කඨින චීවරයන් පූජා කිරීමට අවස්ථාව උදාවන්නේ මෙම මාසය තුළ බැවිනි. අට මහා කුසල් ගණයට අයත් පිංකම් අතර පළමු පිංකම වන්නේ කඨින චීවර පූජාව වේ. එම සංස්කෘතික හරයක් සහිත පූජෝත්සවය ඇරඹෙන්නේ ද වප් පොහොය දිනයේය. එම පොහොය ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මනුෂ්‍යයන්ගේ අධ්‍යාත්මික හැඩ ගැසීම උදෙසා නිමිත සපයන්නේය.

 

Exit mobile version