මනම්පිටිය නිමල් ජයරත්න –
වාලච්චේන ධීවර වරාය ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත් ඩීසල් ලීටර් 1800ක ප්‍රමාණයක් ලොරි රථයකින් සහ වෑන් රථයකින් කාත්තන්කුඩිය දක්වා ප්‍රවාහනය කිරීමට සැරසුන සැකකරුවන් 07ක්, ඉන්ධන තොගය ද සමග අත්අඩංගුවට ගැනීමට අද ( 28) අලූයම වාලච්චේන පොලිසියට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්මුණේ සහ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලින් බව වාලච්චේන වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අර්.එම් කුමාරසිංහ අප කළ විමසීමකදී පැවසීය.
අත්අඩංගුවට ගත් ඩීසල් 1800 ප්‍රමාණය බූලි 18ක ඇසුරුම් කර වෑන් රථයේද, තවත් බූලි 21 ඇසුරුම් කර ලොරියටද පටවා තිබූ බව පරීක්ෂණ සිදුකරන වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතැතිව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද ලියවිල්ලක්ද තිබී ඇති අතර සැකකරුවන් පවසා ඇත්තේ ධීවර අමාත්‍යවරයාගේ උපදෙස් මත එම ඩීසල් තොගය ඔළුවිල් ධීවර වරායේ ඉදිකිරීමක් සඳහා රැගෙන යාමට සූදානම් කරගත් ඒවා බවයි,
අත්අඩංගුටගත් මෙම ඩීසල් ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන්ට බලපත්‍රයක් නොතිබීම නිසා මෙම ඉන්ධන වැඩි මිලට විකිණීම සඳහා රැගෙන යෑමට සූදානම් කර තිබූ එව්වාද යන්න පොලිසිය සැක පළ කරයි.
පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් මෙම ඩීසල් තොගය අළුයම් කාලයේ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඒවා බවද පොලිසිය කියයි.
වාලච්චේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාරගේ උපදෙස් පරිදි, වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්, කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුම කළහ.
අත්අඩංගුවටගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්නකිරිම් සිදුකරන බවද වාලච්චේන පොලිසිය කියයි.