ලලිත් චාමින්ද –
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පිරිමි නිලධාරීන්ගෙන් සියයට 77කට සහ කාන්තා නිලධාරිනියන්ගෙන් සියයට 56කට ශාරීරික දුබලතා පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ සඳහන් වේ.
බෝනොවන රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැති වෛද්‍ය සායනයකදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර, මෙය තීරණාත්මක අවදානම් තත්ත්වයක් බවද විගණන වාර්තාව පෙන්වා දෙයි.
දුම්වැටි, බුලත්විට සහ මත්පැන් භාවිතය
මෙම වාර්තාවට අනුව බන්ධනාගාර පිරිමි නිලධාරීන්ගෙන් සියයට 29ක් පමණ දුම්පානය සිදු කරන අතර සියයට 26ක් බුලත්විට පරිභෝජනය කරති. කාන්තා නිලධාරිනියන්ගෙන් බුලත්විට පරිභෝජනය කරනු ලබන්නේ සියයට 05කි. කෙසේ වුවද, පිරිමි බන්ධනාගාර නිලධාරීන් අතර මත්පැන් පානය කිරීම ඉතා ඉහළ ව්‍යාප්තියකින් දැකිය හැකි බව විගණන වාර්තාවේ සඳහන් වේ.
මෙම ජීවන රටාව සහ හැසිරීම් හේතුවෙන් විශේෂයෙන්ම හෘද රෝග, පරිවෘත්තීය රෝග සහ මුඛ පිළිකා වැනි බෝනොවන රෝග ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බවද අනාවරණය වී ඇත.
රෝග ව්‍යාප්තියේ ප්‍රතිශත
- නිලධාරීන් පෙළෙන ප්‍රධාන රෝගී තත්ත්වයන් කිහිපයක් මෙසේය:
- අධිරුධිර පීඩනය: පිරිමි නිලධාරීන්ගෙන් සියයට 28ක් සහ කාන්තා නිලධාරිනියන්ගෙන් සියයට 16කි.
- දියවැඩියාව: පිරිමි සහ කාන්තා දෙපාර්ශවයෙන්ම සියයට 14 බැගින්.
- කොලෙස්ටරෝල්: පිරිමි නිලධාරීන්ගෙන් සියයට 13කි.
මීට අමතරව, නිලධාරීන් කිහිපදෙනෙකුගේම වකුගඩු අකර්මණ්‍යතා ලක්ෂණද පෙන්නුම් කරන බව මෙම වාර්තාවේ සඳහන් වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් ඉකුත් වර්ෂයේ අගෝස්තු මස 12 සහ 13 යන දිනවල මෙම බෝනොවන රෝග ව්‍යාප්තිය සෙවීමේ වෛද්‍ය සායන පවත්වා තිබුණි.









