පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් උග්‍ර මන්දපෝෂිත තත්ත්වයෙන් පෙළෙන දරුවන් 900ක්…

මනම්පිටිය නිමල් ජයරත්න –   

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් මේ මොහොත වනවිට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් නවසියයකට ආසන්න ප්‍රමාණයක්  සිටින බව පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි   සඳහන් කළේය.

පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි

දිස්ත්‍රික් ලේකම්වරයා කීවේ පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ දිළිඳුකමේ රේඛාවෙන් පහළ මට්ටමේ ජීවත්වෙන පවුල් සංඛ්‍යාව ඉතා වැඩි බවය. දෙවේලක් කා ජීවත්වන පවුල්වලට කෑම වේලක් දීමට වඩා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවා වෘත්තීය මට්ටමින් යමක් කීරීමේ වැඩපිළිවෙළක් දියත් වි ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මේ බව ප්‍රකාශ කළේ අද (15) සවස  පොලොන්නරුව සුදු අරලිය හෝටලයේදී, ශ්‍රී ලංකා  ගැලවීමේ හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

පැමිණ සිටි පිරිස ඇමතූ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් මෙසේද සඳහන් කළේය.


“ශ්‍රි ලංකා ගැලවීමේ හමුදාව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන්න විශාල කැප කිරීමක් කරලා තියෙනවා. ඔබ අපි කවුරුත්  දන්නව අපේ දිස්ත්‍රික්කයේ ලොකුම ප්‍රශ්නේ තමයි වකුගඩු රෝගී ප්‍රශ්නය. හඳුනා නොගත් වකුගඩු රෝගය සමග දහස් ගණන් ජීවිත බිල්ලට යනවා.  මේ   තත්ත්වයට ප්‍රධාන හේතුව වුණේ පිරිසුදු පානීය ජලය  නොමැති කමයි. මේ ගැටලුවේදී ගැලවීමේ හමුදාව   මා දන්නා තරමින් දිස්ත්‍ර්කය පුරා පානීය ජල ව්‍යාපෘතිය 25කට වඩා ක්‍රියාත්මක කරලා විසඳුම් ලබාදීලා තියෙනවා.

වකුගඩු රෝගියෙකුට මාසෙකට දීමනාවක් දුන් නැතිනම්  ඒ පවුල්ට ඒක විශාල වශයෙන් දැනෙනවා ඒ තරමටම මේ ප්‍රශ්නේ කිඳා බැහැලාා තියෙන්නේ,මේ ප්‍රශ්නවලදී ගැලවීමේ හමුදාව සිදුකරපු කටයුත්ත අපි අගය කළ යුතුයි,

මෙම අවස්ථාවට සහභාගී වෙමින් පොළොන්නරුව දිස්ත්‍රික් අතිරේක ලේකම් රුවන් රත්නායක   සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් වාර්තා වුණේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බවත්, දැනට වකුගඩු රෝගීන්වැඩිම වාර්තා වෙන්නේ වැඩිම දිඹුලාගලින් බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම,වැඩසටහන සඳහා ඇමරිකාවේ ගැලවීමේ හමුදාවේ සභාපති කොමිෂනර් කෙනත් ජී, සහ එම මැතිණිය, ඇමරිකා එක්සත් ජනපදයේ ගැලවීමේ හමුදාවේ ජාතික සංවිධායක කොමිෂනර් ජොලින් කේ.හොඩර්, ශ්‍රී ලංකාවේ ගැලවීමේ හමුදාවේ ප්‍රාදේශීය නායක කර්නල් නිහාල් හෙට්ටිආරච්චි, පොලොන්නරු දිස්ත්‍රික් ව්‍යාපෘති අධ්‍යක්ෂ දිනුක රාජපක්ෂ,   පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පාලිත බණ්ඩාර, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ නිහාල් ගුණතිලක,   ඇතුළු දෙස් විදෙස් උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ,

Exit mobile version