පොලිස් ආරක්ෂාව පිට රසායනාගාර පරීක්ෂාවට ලක් කළ දෙවැනි චීන පොහොර සාම්පලයත් ෆේල්!

දෙවන සාම්පලයෙත් ක්ෂුද්‍ර ජීවීන් හමුවේ... ලංකාවේ අනුමත SLSI 1704 ප්‍රමිතියට අනුව පොහොර රට තුළට ගත නොහැකියි!

ලංකාවට ගෙන්වීමෙන් පසු   පොලිස් ආරක්ෂාව යොදවා රසායනාගාර    පරීක්ෂාවට ලක් කළ දෙවන චීන කාබනික පොහොර සාම්පලයේ ද ක්ෂුද්‍රජීවීන් සිටින බව තහවුරු වී තිබේ.

මෙම චීන පොහොරවල මුල් සාම්පලයේ ක්ෂුද්‍රජීවීන් වාර්තා වීමත් සමග කෘෂිකර්ම ඇමතිවරයා එම සාම්පලයට කුමන්ත්‍රණකාරී ලෙස ආගන්තුක ද්‍රව්‍ය මිශ්‍ර කර ඇති බවට සැක බවත් මෙවැනි අපරාධ පසුපස රසායනික පොහොර මාෆියාව සිටින බවත් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ කීවේය.

කෙසේ වෙතත් ඊයේ (27) නිකුත් වූ  මෙම දෙවන සාම්පලය පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ  අන්තර්ගතය පිළිබඳ සමස්ථය මුල්වර මෙන්  විද්වතුන්ට දැන ගත හැකි වනසේ  ප්‍රකාශයට පත් කර නැති බව වාර්තා වේ.


එහෙත් මෙම සාම්පලයේ ද බැසිලස් ඛාණ්ඩයේ ක්ෂුද්‍රජීවීන් සිටින බව තහවුරු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට තහවුරු කරයි.

බැසිලස්  යනු අතිශය පැතිරුණු ක්ෂුද්‍රජීවී ඛාණ්ඩයක් බවත් එහි හානිකර බැක්ටීරියා විශේෂ ලක්ෂ ගණනක් පවතින බවත් පවසන ප්‍රමාණිකයන් පෙන්වා දෙන්නේ මේ දෙවන වාර්තාව අනුව කිසිසේත් මෙම පොහොර ලංකාවට රැගෙන ඒමට හැකියාවක් නැති බවය.

දැනට ලංකාවේ අනුමත    SLSI 1704 ප්‍රමිතියට අනුව   රට තුළට  කිසිම ජීවියෙක් සහිත කාබනික පොහොරක් ඇතුළු කළ නොහැකිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මීට පෙර  මාධ්‍ය කළ විමසුමක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  පැවසුවේ දැනට තිබෙන තත්වය අනුව කාබනික පොහොර පිළිබඳ ප්‍රමිතිය වෙනස් කිරීමට සිදුවිය හැකි බවය.

Exit mobile version