පේරාදෙණිය රෝහලේ බාහිර රෝගී අංශ සෞඛ්‍ය සේවිකාවක් කොවිඩ් වැළඳී මිය යයි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහායික සේවිකාවක් ඊයේ (23) රාත්‍රියේ කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබේ.

මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කුසලා කුමාරි රණවීර නැමැති ඇය පසුගිය දින කීපය තුළම සේවය කර ඇත්තේ රෝහලේ බාහිර රෝගී අංශයේය.

කොවිඩ් එන්නතේ එකම මාත්‍රාවක්වත් ලබාගෙන නොසිටි බව කියන ඇයට මීට සතියකට පෙර මතු වූ කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන්  පී.සී.ආර්. පරීක්ෂාවක් කරගෙන ඇති අතර 19 වනදා කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග පේරාදෙණිය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර අංශයට ඇතුළත්ව ප්‍රතිකාර ගනිමින් සිට ඇත.

ඊයේ රාත්‍රියේ උග්‍ර කොවිඩ් නිවුමෝනියා තත්වයට ලක් වීම නිසා ඇය මියගොස් ඇතැයි ද අද සවස මහයියාව සුසාන භූමියේ දී ඇයගේ දේහය ආදාහනය කරනු ලබන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

ඊයේ පේරාදෙණිය රෝහලේ කොවිඩ් මරණ 6ක් සිදු වී ඇති බවත් එම සිරුරු හය අද දහවල් 12ට සිරුරු දෙකක්, පස්වරු 6ට සිරුරු දෙකක්, පස්වරු 7ට සිරුරු දෙකක් වශයෙන් ආදාහනය කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

Exit mobile version