පුද්ගලයින් 11 අතුරුදන් කිරීමේ නඩුව… කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනී!

Wasantha-Karannagoda

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13) අධිකරණයට දැනුම් දුන්නේය.

වර්ෂ 2008 දී වාර්තා වූ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් ඇතුලු 11 දෙනෙක්     පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් ඔහුව නම් කර තිබිණි.

තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කෙරෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ   ගොනුකළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ අවන්ති පෙරේරා  එම අධි චෝදනා ඉවත්කර ගන්නා බවට වූ දැනුම් දීම සිදුකළාය.


මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩු කටයුත්තේ විත්තිකරු වශයෙන් නම් කර සිටින පෙත්සම්කාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවය.

ඒ අනුව ඒ පිළිබඳව මහාධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නඩුකරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා එය නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

Exit mobile version