“සහරාන්ගේ අනතුර ගැන මම ආරක්ෂක මණ්ඩලේට කිව්වේ 2019 ජනවාරි මාසයේ සිට”

සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ව 2019 වසරේ ජනවාරි මාසයේ සිටම ජාතික ආරක්ෂක මණ්ඩලයට ලිඛිතව සහ වාචිකව කරුණු දැනුවත් කර තිබුණත් ආරක්ෂක මණ්ඩලයෙන් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලද බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසම ඉදිරියේ පැවසීය.

මාවනැල්ල බුදු පිළිමවලට හානිකිරීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම යන සිදුවීම් පසුපස සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායම සිටින බව තමන් ජාතික ආරක්ෂක මණ්ඩලයට එම දිනවලදීම දැනුම් දී තිබුණු බව ද එහිදී නිලන්ත ජයවර්ධන මහතා අනාවරණය කළේය.

එමෙන්ම 2015 සිට 2019 වසර දක්වා බුද්ධි වාර්තා 2000කට වැඩි ප්‍රමාණයක් ආරක්ෂක ලේකම්වරයා වෙත ලබා දී ඇති බවත් විවිධ ආයතන හා නිලධාරීන් 52 දෙදෙනෙකුටද අදාළ ලිපි ලේඛන යොමු කර ඇති බවත් රාජ්‍ය බුද්ධි සේවය කොමිසම හමුවේ සඳහන් කළේය.


පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ නිලන්ත ජයවර්ධන මහතා ගේ සාක්ෂි විභාගය පෙරේදා (27) ආරම්භ විය.

එහිදී ඔහුගේ සාක්ෂි විමසීමේ කොටසක් මාධ්‍යයට නිරාවරණය නොවූ අතර සවස් කාලයේ දී ඔහුගේ සාක්ෂි මාධ්‍ය ඉදිරියේ දී ලබා ගත්තේය. අනතුරුව ඊයේ (28) දෙවැනි දිනටත් නිලන්ත ජයවර්ධන මහතාගෙන් කොමිසම සාක්ෂි විමසුවේය.

එහි මුල් කොටස මාධ්‍ය නොමැතිව සිදුවූ අතර පසුව මාධ්‍යට එම සාක්ෂි විභාගය විවෘත විය.

සහරාන් හෂිම් පිළිබද රාජ්‍ය බුද්ධි සේවය දිගින් දිගටම බුද්ධි තොරතුරු වාර්තා කර තිබියදිත් ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු විමර්ශන අංශයක් අඛණ්ඩ ව ක්‍රියාත්මක නොවු බව කොමිසම හමුවේ නිලන්ත ජයවර්ධන මහතා අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොමිසම හමුවේ ‍පෙරේදා (27) සාක්ෂි ලබාදෙමින් ඔහු සදහන් කළේ පක්ෂ දෙකක් එකතු වී ආණ්වුවක් පිහිටුවා තිබු එකල රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා ලෙස තමා සිටි සමය විශේෂ කාලවකවානුවක් වු බැවින් එම කාල සීමාව තුළ බුද්ධි නිලධාරින් ලෙස තමන්ට මැද මාවතක ගමන් කිරීමට සිදුවු බවය.

Exit mobile version