රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ජනාධිපති, අගමැති, පොලිස්පති, බුද්ධි ප්‍රධානී ආරක්ෂක ලේකම් අපරාධකරුවන් වන ලකුණු...

මෙරට සිදුවූ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් කරන ලද නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුළු හිටපු යහපාලන ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයන් සහ නිලධාරීන් ගණනාවක් අපරාධ චෝදනාවලට ලක්වීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට අමතරව, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවකට පොලිස් ප්‍රධානී පුජිත් ජයසුන්දර සහ එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට එරෙහිව මෙලෙස අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇතැයි ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත් වාර්තා කර තිබේ.

පූර්ව අනතුරු ඇඟවීම් කර තිබියදී එය නොතකා ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීමට එරෙහිව මෙම අපරාධ චෝදනා ගොනු කරන ලෙස කොමිසම නිර්දේශ කර ඇත.


දේවස්ථාන සහ හෝටල් කිහිපයක 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 270 ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ප්‍රහාරයට පෙර අන්තවාදී අදහස් පතුරුවා හරින අය අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම සහ කල්තියා නිසි පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය සඳුදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බව එම පුවත්පත වාර්තා කරයි.

අන්තවාදී අදහස් පතුරුවා හැරීම සඳහා විදේශ අරමුදල් ලබාගත් පුද්ගලයින්ට එරෙහිව ද පියවර ගත යුතු බව කොමිසම නිර්දේශ කර තිබෙන බව පැවසේ. කොමිෂන් වාර්තාව හෙට (8) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, මේ වන විට එම වාර්තාව නීතිපති වෙත ඉදිරිපත් කර නොමැති බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර ඇත.

2008 කොමිෂන් සභා විමර්ශන පනත යටතේ, කොමිසමේ සොයාගැනීම් වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා යොදා ගත හැකි බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. සන්ඩේ ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ කාදිනල් මැල්කම් රංජිත් එම වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර වාර්තාවේ අන්තර්ගතය ඉතා ඉක්මනින් ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලීම් කර ඇති බවයි. ඔහු නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා තිබේ. කාදිනල්තුමා බොරැල්ලේ පැරණි ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ පැවති නිදහස් දින දේව මෙහෙයකදී ද එවැනිම ආයාචනයක් කළේය. නිදහස් දින සැමරුම අමතමින් ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා බවයි. පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව තමාට දැන් ලැබී ඇති බවත් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දැනටමත් උපදෙස් ලබා දී ඇති බවත් ජනපති එහිදී කීය. ඊට සමගාමීව, ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම ඛේදවාචකයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව පියවර ගැනීමට නියමිතය. මෙම ඛේදවාචකය සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට බේරීමට ඉඩ නොදෙන බව ද ජනාධිපතිවරයා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොමිසමේ මුලසුන දැරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසිනි. එහි සෙසු සාමාජිකයන් වූයේ අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමලත් අධිකරණ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරී යන අයයි. හිටපු ජනාධිපති සිරිසේන ප්‍රථම වරට කොමිසම පත් කළේ 2019 සැප්තැම්බර් මාසයේදී වන අතර එතැන් සිට එහි නිල කාලසීමාව විවිධ කාලවලදී දීර්ඝ කර තිබුණි. කොමිසමේ ධුර කාලය ජනවාරි 31 වන දිනෙන් අවසන් විය. කොමිසම සිය නඩු විභාගය 2019 ඔක්තෝබර් 31 වන දින ආරම්භ කළ අතර දින 214 ක කාලයක් රැස්වීම් 640 ක් පවත්වා සාක්ෂිකරුවන් 451 දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ.

Exit mobile version