මාසෝ ගේ සාක්කියෙන් හෙළිවන වැඩ බැරි ලොක්කන්ගේ මාරක නොසැලකීම

රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාසෝ   මාස තුනක කාලයක් රාජ්‍ය බුද්ධි සේවයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙසද සේවයේ නිරතව සිටියේය. බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂිකරුවෙක් ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මොහෙමඩ් මාසෝ අද (06) පාස්කු කොමිසම ඉදිරියේ දෙවන වරටත් සාක්ෂි දුන්නේය. 

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිතකර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිසන්  සභාව අද රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වාගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු  සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත් මහතාය.

මොහොමඩ් මාසෝ ගේ සාක්ෂි විමසන ලද්දේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටි ජනරාල් වරිය විසිනි.


මුලින්ම අතිරේක සොලිසිටි ජනරාල්වරිය සාක්ෂිකාර මාසෝගෙන් විමසා සිටියේ  පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශයක් විසින් මෙරට රාජ්‍ය බුද්දි සේවයට දැනුම් දුන් තොරතුර සහ එම තොරතුරු මුල්කරගෙන රාජ්‍ය බුද්ධි සේවය විසින් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් ට යොමු කළ ලිපිය සම්බන්දයෙනි.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

එම ලිපිය බුද්ධි තොරතුරක්ද?

සාක්ෂිකරු

එම මුල් තොරතුරු ලැබී ඇත්තේ ඉන්දියාවෙන්. එය නිශ්චිත බුද්ධි තොරතුරක්.

 

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

නිශ්චිත බුද්ධි තොරතුරක් කියන්නේ කුමක්ද?

සාක්ෂිකරු

සියයට 99 ක් සියයට 98ක් සියයට 95 ක්ම එම තොරතුර නිශ්චිත බවයි.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

ඒජන්ත වරුන්ගේ තොරතුරු කියන්නේ කුමක්ද?

සාක්ෂිකරු

යම්කිසි සංවිධානයක් තුළ සිටින තොරතුරු කරුවෙක් විසින් ලබාදෙන තොරතුරක්.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

මෙය ඕනෑම රටක බුද්ධි අංශ ක්‍රියාත්මක කරන්නක්ද?

සාක්ෂිකරු

ඔව්

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

මෙවැනි ලේඛනයක් ලැබුණම රාජ්‍ය බුද්ධි අංශය සිදුකල යුත්තේ කුමක්ද?

සාක්ෂිකරු

අවශ්‍ය කරුණු මෙතැන තියෙනවා. එය නිශ්චිත වශයෙන්ම තහවුරුකළ තොරතුරක්. එය තවදුරටත් තහවුරුකරන්න අවශ්‍ය වුනානම් රාජ්‍ය බුද්ධි සේවයට හැතියාව තිබුනා එයාලගේ තවත් ආයතන වලින් විමසා තහවුරුකර ගන්න. රාජ්‍ය බුද්ධි සේවය සතුව තොරතුරු ජාලයක් තිබෙනවා. ඒ ඔස්සේ තහවුරුකර ගන්නත් පුළුවන්. චෙන්නායිවල අපේ උප මහ කොමසාරිස් කාර්යාලයේ බුද්ධි අංශ නිලධාරියෙක් ඉන්නවා. ඒ ඔස්සේ රහසිගත විමර්ශනයක් කරන්නත් තිබුණා. ඒ සියල්ලම කැටිකර මෙම තොරතුරට තවත් වටිනාකමක් දෙන්න තිබුණා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

මෙම තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාට ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කරන්න තිබුනා නේද?

සාක්ෂිකරු

ඔව්

 

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

යම් හෙයකින් රාජ්‍ය බුද්ධි සේවයට මෙම තොරතුර සම්බන්ධයෙන් ඇපැහැදිලිකමක් සහ සැකයක් තිබුනේ නම් තහවුරුකර ගන්න තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයට වගවීමක් තිබුනා නේද මේ තොරතුර මුල් අවස්ථාවේදීම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට දැනුම්දීමට.

සාක්ෂිකරු

ඔව්.

මේ ගැන සැකයක් තිබුනානම් මුලින්ම කරන්න තිබුනේ අතුරු වාර්තාවක් මගින් තොරතුර සම්බන්ධයෙන් ඒ අයව දැනුවත් කිරීමයි. අනතුරුව දින දෙකක් තුනක් ඇතුළත සොයා බැලීමක් කරලම සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන්න තිබුණා. එය රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාගේ වගකීමක්.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

අපි උපකල්පනය කරමු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා විසින් තොරතුර සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි ප්‍රධානියාව දැනුවත් කළද ඔහු ඒ සම්බන්ධයෙන් අවධානයතක් යොමු නොකළායැයි කියලා. එවිට කළ යුත්තේ කුමක්ද?

සාක්ෂිකරු

යම් දැනුම්දීමක් ලිඛිතව යොමු කලා කියල ඔහුගේ රාජකාරිය අවසන් වන්නේ නැහැ. ජාතික බුද්ධි ප්‍රධානියාට ඒ ගැන තැකීමක් නැති නම් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාගේ වගකීම තමයි එය දැනෙන ලෙස අවබෝධකර දීම.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

අපි තවත් කල්පිතයකට යමු. අපි හිතමු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා රාජ්‍යබුද්ධි ප්‍රධානියාටත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මෙම තොරතුර ගැන දැනුම් දීමක් කරනව කියල. ආරක්ෂක ලේකම්වරයාද උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙවැනි අවස්ථාවකදී රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාට මෙවැනි අවස්තාවකදී ගතහැකි පියවර කුමක්ද?

සාක්ෂිකරු

ඔහුටත් ඒ තොරතුර සම්බන්ධයෙන් අවබෝධකළ යුතුයි.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය
ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් ජාතික බුද්ධි ප්‍රධානියාටත් කොතරම් කරුණු කීවත් අවධානය යොමු කරන්නේ නැති බව රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාට වැටහෙනවා. ඒ වෙලාවට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක හිතනවනම් මම ඉහළින් ඉන්න දෙන්නම දැනුවත් කළා. ඒ අය පියවරක් ගන්නේ නැති නම් මට කරන්න දෙයක් නැහැ, කියල ඔහුට නිකම් ඉන්න පුළුවන්ද?

සාක්ෂිකරු

එහෙම කරන්න බැහැ. නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයාව හෝ ආරක්ෂක ඇමතිවයාවන ජනාධිපති දැනුවත් කළ යුතුයි. ඒ සඳහා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාට අවකාශ තිබෙනවා. ජනාධිපපතිවරයා  තමයි සේනාවිධායක. බුද්ධි අංශය තිබෙන්නේත් ඔහු යටතේයි. රාජයේ ප්‍රධානියා මෙවැනි තොරතුරක් දැනගෙන සිටිය යුතුමයි. එය මූලධර්මයක්.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

මෙවැනි තොරතුරක් ජනාධිපතිවරයා දැනගත යුතුව තිබුණා කියලද ඔබ කියන්නේ.

සාක්ෂිකරු

ඔව්.අනිවාර්යෙන්ම

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

ජනාධිපතිවරයා යම් රැස්වීමකට සහභාගිවීමට සූදානමක් පවතින විට ලබාගන්නා ආරක්ෂක තත්ව වාර්තාවේ ඒ ගැන සඳහන් කළ යුතුද?

සාක්ෂිකරු

ඔව්. අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි.

මෙම අවස්ථාවේදී කොමිසම විසින් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   2019 වසරේ අප්‍රේල් 12 වෙනිදා කාතන්කුඩියේ මහජන රැස්වීමකට සහභාගිවීමකට පෙර ජනාධිපති ආරක්ෂක අංශයට රාජ්‍ය බුද්ධි සේවය විසින් යොමුකරන ලද ආරක්ෂක තත්ව වාර්තාව සාක්ෂිකාර මාසෝ ගේ අවධානයට යොමු කරන ලදි.

සාක්ෂිකරු

මෙම ආරක්ෂක තත්ව වාර්තාවේ මුලින්ම සඳහන් කරල තිබෙනව ජනපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොමැති බව. එහෙත් පසු සටහන් කිහිපයක් තිබෙනවා විවිධ දේශපාලන මත දරන්නන්ගේ තර්ජන ඇති වෙන්න පුළුවන්. එල්.ටී.ටී.ඊයට ලැදි පුද්ගලයින් ඉන්න පුළුවන්, අයි.එස්.අයි.එස්. මත දරන්නන් ඉන්න පුළුවන් ආදී වශයෙන් බොහෝ දේවල් සටහන් කරල තිබෙනව. ඒ සියළු කාරණා සඳහන් කරමින් අවසානයේදී කියන්නේ එම රැස්වීමට ගියාට කමක් නැහැ කියන එකයි.

(රටවෙනුවෙන් නැගිටිමු. නම් ජනාධිපතිවරයා සහභාගිවූ රැස්වීම පැවැත්වෙන්නේ කාතන්කුඩියේ  වෙබර් ක්‍රීඩාංගනයේදීය. ඒ සම්බන්ධයෙන් වූ රාජ්‍ය බුද්ධි සේවා ආරක්ෂක තත්ව වාර්තාවේ වව්නතිව් හීදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද සටහනක් තබා ඇති බවත් එම සටහනේ දක්වා තිබී ඇත්තේ එම ඝාතනය එල්.ටී.ටී,ඊ. ගිණුමට බැරවන ආකාරයට බවද කොමිසම හමුවේ සඳහන් විය.)

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

මෙම ආරක්ෂක තක්සේරු වාර්තාවේ ප්‍රහාරයක් ගැන සඳහන් වෙන්නේ නැහැ.

සාක්ෂිකරු

එහෙම එකක් නැහැ කියල සඳහන් කළාට අයි.එස්. මතවාදය දරණ පුද්ගලයින් කාතන්කුඩියේ ඉන්න බව සඳහන්කරල යම් සටහනක් තබල තිබෙනවා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

රාජ්‍ය බුද්ධි සේවයට මෙම තොරතුර (පාස්කු ප්‍රහාරය) ලැබී තිබුනේ ජනාධිපතිගේ කාතන්කුඩි සංචාරයට අදාල ආරක්ෂක තක්සේරුවාර්තාව සකස් කිරීමට පෙරයි. ආරක්ෂක තක්සේරුවාර්තාව ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට යොමු කරන්නේ 2019 වසරේ අප්‍රේල් 10 වෙනිදායි. එම වාර්තාවේ ප්‍රහාරයට අදාල තොරතුරු ඇතුළත් කළ යුතුව තිබුණෙද නැද්ද?

සාක්ෂිකරු

අනිවාර්යෙන්ම එම තොරතුර ඇතුළත් විය යුතුයි. මේ කියන තොරතුර අප්‍රේල් 04 වෙනිදායි ඉන්දියානු බුද්ධි අංශයෙන් ලැබිල තියෙන්නේ . ජනාධිපතිවරයාගේ කාතන්කුඩි සංචාරයට අදාලව ආරක්ෂක තත්ව වාර්තාව සකස්කරන්නේ අප්‍රේල් 09 වෙනිදා. ඉන්දියානු තොරතුරේ පහරදෙන්නේ කවුද, කොහොමද, කොතනටද කියල පැහැදිලිවම සඳහන්කරල තිබෙනවා. අයි.එස්. මතවාදය වන්නේ මුස්ලිම් නොවන සෑම පුද්ගලයෙක්ම ඝාතනය කළ යුතු බවයි. එහෙම තිබියදී රාජ්‍ය නායකයා මඩකලපුවේ කරන සංචාරයට අදාල ආරක්ෂක තත්ව වාර්තාවේ එය ඇතුළත් කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාගේ යුතුකමක්.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

ඉන්දියාවෙන් ලද එම තොරතුර රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයා විසින් යොමුකරන්නේ සිදුවිය හැකි සැළසුමක් කියන මාතෘකාවෙන්.

සාක්ෂිකරු

සිදුවිය හැකි යැයි සඳහන් කිරීමෙන්ම එම තොරතුර නිශ්චිත නොවන තොරතුරක් බවට පත්වෙනවා. එම තොරතුරෙහි නිශ්චිත බව ඉන් ප්‍රශ්න ගත වෙනවා. ඉන් කියැවෙන්නේ විදෙස් ඔත්තු අංශයකින් ලද එම තොරතුර දැන ගැනීම් සහ උපදෙස් සදහා යොමුකර ඇති බවයි.

විනිසුරු සුනිල් රාජපක්ෂ

බුද්ධි අංශ නිලධාරීන්ට මෙවන් වචන භාවිත කිරීම් සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදෙනවද?

සාක්ෂිකරු

වචන හැසිරිය යුතු අන්දම, වචන යෙදිය යුතු තැන්, ආදිය සම්බන්ධයෙන් පුහුණු පාඨමාලා පවත්වනවා. බුද්ධි වාර්තා සම්බන්දයෙන් වෙනම පාඨමාලා පැවැත්වෙනවා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

isthihhad මොකක්ද මේ ප්‍රහාරය

සාක්ෂිකරු

ඉස්ලාම් මූලධර්මවාදීන් පාවිච්චිකරන වචනයක්. එහි තේරුම තමයි තමන්ගේ සටන වෙනුවෙන් ජීවිතය නසාගන්නවා යැයි කියන එකයි.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද මේ තොරතුර fna ලෙස සටහන් කරල පොලිස්පතිවරයා විසින්  යොමුකර තිබීම නිවැරදිද?

සාක්ෂිකරු

පොලිස්පතිවරයාට කරන්න තිබුනේ මේ පිටසන ගහන්න කලින්  රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව කැඳවල  සාකච්ඡාකරල මේ ගැන යම් පැහැදිලිකර ගැනීමක් කර ගන්නයි. මේ තොරතුර රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරක්.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂකවරයාව අධික්ෂණය කරන්නේ පොලිස්පතිවරයා නොවෙයි නේද?

සාක්ෂිකරු

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව අධික්ෂණය කරන්නේ පොලිස්පති නෙමෙයි. ඒත් ඔහුට අවකාශ තිබෙනවා ඉල්ලීමක් කරන්න. මෙවැනි අවස්ථාවකදී ධූරාවලිය පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. මේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

පොලිස් නිලධාරීන්ව ආරක්ෂාව වෙනුවෙන් නිල ඇඳුමින් ස්ථාන  ගත කරන්න අවකාශ තිබුනද?.

සාක්ෂිකරු

ඔව්. කරන්න තිබුනා.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

නිල ඇඳුමින් එදා  නිලධාරීන් හැම තැනම ස්තානගත කලාම රටේ සාමාන්‍ය ජනතාව කලබල වෙන්නේ නැද්ද?

සාක්ෂිකරු

ඒක නියමිත ආකාරයට තක්සේරු කරගන්න ඕනේ. අනික මම හිතන්නේ නැහැ, පොලිස් නිලධාරීන් වැඩි දෙනෙක් රාජකාරියට දැම්ම කියල මිනිස්සු කලබල වෙයි කියල. හැම දෙයක්ම කළ යුත්තේ යම් සැලසුමකට අනුවයි.

අතිරේක සොලිසිටි ජනරාල්වරිය

එම තොරතුර ලැබිල තිබුනේ 09 වෙනිදායි. සැළසුමක් ඇතිව ආරක්ෂක වැඩ පිළිවෙලක් දියත්කරන්න පොලිස්පතිවරයාට කාලයක් තිබුණා නේද?

සාක්ෂිකරු

ඔව්. ඇති තරම් කාලය තිබුණා. සැළසුමක් සකස්කරල වැඩ කරන්න.

විනිසුරු සුනිල් රාජපක්ෂ

පොලිස්පතිවරයාට එම අවස්තාවේදී තීරණ ගැනීමේ  හැකියාවක් තිබුණද?

සාක්ෂිකරු

ඒකට බලපාන්නේ එයාගේ දැනුමයි. පොලිස්පතිවරයා බුද්ධි නිලධාරියෙක් වුනා නම් එම තොරතුර දැක්ක ගමන් ඔහු දන්නව කුමක්ද කළ යුත්තේ වගේම එහි වටිනාකම ගැන. සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්  නම් සෙසු ඉහළ නිලධාරීන් කැඳවල කථාකරල තීරණයක් ගන්න තිබුනා.  පොලිස්පතිවරයාට උඩින් ආරක්ෂක ලේකම් ඉන්නවා. ඔහුට තිබුණා ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කරන්න.

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

ඔබේ සේවා කාලය තුළ මෙයට පෙර ඉන්දියානු බුද්ධි අංශවලින් තොරතුරු ලැබිල තිබෙනවද?

සාක්ෂිකරු

ඔව්

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

එම මූලාශ්‍රයෙන් ලැබුණු තොරතුරු කුමන මට්ටමක තොරතුරු ලෙසද සැලකෙන්නේ.

සාක්ෂිකරු

ඉහළම විශ්වාය ඇති තොරතුරු ලෙසයි සැලකෙන්නේ.

විනිසුරු බන්දුල කරුණාරත්න

මීට දින කිහිපයකට පෙර ශාෆියා සයීඩ් නම් මුස්ලිම් අන්තවාදී කාන්තාවක් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය මගින් අත්අඩංගුවට ගෙන සිදුවීමට ගිය විනාශයක් වළක්වා ගැනීමට හැකිවූවා  සේම මෙරට බුද්ධි අංශය ඒ ආකාරයෙන් කාර්යක්ෂම වන්න තිබුණාද?

සාක්ෂිකරු

කාලෙකට කලින් එහෙම කාර්යක්ෂමව තිබුණා. නමුත් පහුගිය කාලයේ අපේ බුද්ධි අංශ සේවා පසුබෑමකට ලක්වුණා. ඔය සංවර්ධිත රටවල්වල බුද්ධි අංශ දියුණු මට්ටමක තියෙන්නේ අධිතාක්ෂණය නිසා. අපිට තියෙන ප්‍රශ්නයත් ඒකමයි. ලංකාවේ බුද්ධි සේවා තාක්ෂණය අතින් මීට වඩා ඉදිරියට එන්න ඕනේ

විනිසුරු බන්දුල කරුණාරත්න

බ්‍රිතාන්‍යයට මෙන්ම මෙරටටත් තොරතුරු ලැබී තිබු පසුබිමක මෙරට ඊට ක්‍රියාත්මක විය යුතුව තිබූනේ කවුරුන්ද

සාක්ෂිකරු

බ්‍රිතාන්‍ය තුළ ක්‍රියාත්මක වූ ආකාරයට මෙරට තුළ ද බුද්ධි අංශ ක්‍රියාත්මක වුනා නම් මෙම ප්රහාර මාලාව වළක්වාගැනීමට හැකියාව තිබුනා.  දැන් මෙරට තුළ ක්රියාත්මක වන බුද්ධි අංශ ජාලය ප්රතිසංවිධානයකට ලක්කළ යුතුයි.

විනිසුරු සුනිල් රාජපක්ෂ

මෙරට තුළ ක්‍රියාත්මක වූ අන්තවාදී කණ්ඩායම්වලට දේශපාලන මැදිහත් වීම් තිබුණද?.

සාක්ෂිකරු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අන්තවාදී කණ්ඩායම්වලට අනවශ්‍ය ලෙස දේශපාලන මැදිහත් වීම් තිබුණු බවට  තොරතුරු තිබුණා.

 

 

 

 

Exit mobile version