හැටන් රන්ජිත් රාජපක්ෂ –
නුවරඑලිය මහ නගර සභාව යටතේ පාලනය වන නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසිය.
(26) දින පස්වරුවේ නුවරඑලිය ප්‍රදේශයේ පල්ලිය පාරේ පදිංචිව අවු 71 හැවිරිදි මොහොමඩ් ඉමිතියාස් පසාල් ෂෙරබ් යන අය වැසිකිලයට ගිය අවස්තාවේ එම පුද්ගලයා වැසිකිලිය තුළදිම මියගොස් ඇති බවත්, බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පදිංචි අවු 51 වයසැති අජිත් නිශ්ශංක නැමති අය අද (27) දින උදැසන 8 ට එම වැසිකිලියට ගිය අවස්තාවේ මියගොස් ඇති බවත් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
අභිරහස් ලෙස මියගිය දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත්, නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද සහය ඇතිව විමර්ශනයක් සිදු කරන තෙක් එම වැසිකිලිය මුද්‍රා තැබිමට පියවර ගෙන ඇති බවත් ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසිය.
එම වැසිකිලිය තුළින් දැඩි දුගන්ධයක් හමන බව විමර්ශන අංශ කියයි. ඒ පිලිබඳව විමර්ශන අංශවල අවධානය යොමු වි ඇති බව ද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පවසයි.
අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කිත්සිරි හේරත්ගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ එම වැසිකිලියේ පුරුෂ පාර්ශවය සදහා වෙන් කර තිබු වැසිකිලි පද්ධතිය මුද්‍රා තැබු බවය. කාන්තා පාර්ශවය සඳහා වෙන් කර ඇති කොටස විවෘතව පවතින බවත් ඔහ ුසඳහන් කළේය.
වැසිකිලය තුළදි මියගිය දෙදෙනාම රෝගින් බවට දැනට හදුනාගෙන ඇති බවත්, පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා එහි වාර්තාව ලැබෙන තෙක් වැසිකිලි පද්ධතියේ පුරුෂ පාර්ශව අංශය වසා දමන බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.