නිවුන් අලි දරුවන් සොයා ගත් හැටි ආචාර්ය පිලපිටිය කියයි

මින්නේරියේ දුර්ලභ නිවුන් අලි දරු උපත නිරීක්ෂණ මගින් තහවුරු කරගනු ලැබුවත් ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් එය සනාථ කර ගැනීමට තව කලක් ගතවනු ඇතැයි එම විශිෂ්ට අධ්‍යයනයේ යෙදුණු ආචාර්ය සුමිත් පිලපිටිය පවසයි.

විද්‍යාත්මක නිරීක්ෂණයකින් අනතුරුව නිවුන් අලි උපත් පිළිබඳව කෙරුණු පරීක්ෂණ පත්‍රිකා හැදෑරීමෙන් ද ජාත්‍යන්තර දැනුම හුවමාරු කරගැනීමෙන් ද අනතුරුව මින්නේරියේ නිවුන් අලි උපත සම්බන්ධ නිගමනයට එළඹි ආකාරය ආචාර්ය පිලිපිටිය පවසන්නේ මෙසේය.

“ මා දුටුවා මේ අලි රැළේ එක වයසෙ, එකම පෙනුම සහිත එකම මවක ලඟ හැසිරෙන පැටවු දෙදෙනෙක්. මේ අලි පැටවු එකම මවකගෙන් කිරි බොන ආකාරය මා දැක්කා.


අතිශයින් විරල අවස්ථාවක හැරෙන්න සාමාන්‍යයෙන් අලි මවක් තමන්ගෙ පැටියට හැර වෙන පැටියෙකුට කිරි දෙන්නෙ නෑ. ඒත් සමහර අවස්ථාවලදි තමන්ගෙ සමීපතම ලේ සබඳතා ඇති පැටියෙකුට ඇය කිරි ටිකක් දෙනන් පුලුවන්. ඒත් නිරන්තරව නෙමෙයි.

මට අවශ්‍ය වුනා මේ අලි මව විසින් පැටවු දෙන්නටම කිරි දෙනවද, කිරි දෙද්දි එක් පැටියෙක් වෙන් වෙනවද කියලා බලන්න. තණ පුඩු දෙකෙන් එක්වරම කිරි බොනවා නම් මගේ නිරීක්ෂණය සෑහෙන දුරට නිවැරදි වෙනවා. මා දුටුවා ඒ පැටවු දෙන්නා එක්වරම මවගෙ තණ පුඩු දෙකෙන් කිරි උරා බොනවා.“

අනතුරව මා ලෝකයේ නිවුන් අලි උපත් සම්බන්ධව කර ඇති විද්‍යාත්මක පරීක්ෂණ පත්‍රිකා අධ්‍යයනය කළා. ඔවුන් බාහිර නිරීක්ෂණ අනුව නිවුන් අලි උපත් තහවුරු කරන ආකාරය විමර්ශනය කළා.

ලෝකයේ හොඳම නිරීක්ෂිත අලි ගහණය ඉන්නේ කෙන්යාවේ ඇන්ඩ්‍රියා ජාතික වනෝද්‍යානයේ. මේ සෑම අලියෙක්ම වෙන් වශයෙන් නම් කරලා තියනවා. ඔවුන් සෑම එකෙක් ගැනම ඔවුන් උපන් දිනයේ සිට සෑම අවස්ථාවකම වාර්තා නඩත්තු වෙනවා. මේ වාර්තා පුරා වසර 45ක් තිස්සේ ඔවුන් අඛණ්ඩව පවත්වාගෙන යනවා.

පහුගිය අවුරුදු 54 තුළ මේ අලි ගහණයේ නිවුන් අලි දරු උපත් 3ක් සිදු වුනා. එම වනෝද්‍යානයේ වැඩ කරන ජ්‍යෙෂ්ඨම විද්‍යාඥයෙක් මගෙ සමීප මිත්‍රයෙක්…මා ඔවුන්ගේ වාර්තා අධ්‍යයනය කළා. පසුව මම මගේ මිත්‍රයාට මගෙ නිරීක්ෂණය කිව්වා. ඔහු තහවුරු කරලා කිව්වෙ ඔහුගෙ අත්දැකීමෙ හැටියට මේ නිවුන් අලි පැටවු උපතක් කියලා. හැබැයි කොයි මොහොතකවත් කියන්න එපා මේ ලංකාවෙ මුල්ම නිවුන් අලි උපත කියලා. මේ වාර්තා වුනු මුල්ම නිවුන් අලි උපත…“

නිරීක්ෂණයෙන් එළඹි මේ නිගමනය විද්‍යානුකූලව තහවුරු කරගැනීමට අවශ්‍ය ඩී.එන්.ඒ පරීක්ෂණ සඳහා මේ ළදරු අලි පැටවුන්ගේ රුධිර සාම්පල ලබා ගැනීමට ඔවුන් තව කුඩා වැඩි බව වන ජීවී දෙපාර්තමේන්තුවේ අදහසය. මේ වනවිට රැළෙන් මේ ළදරු අලි පැටවුන් වෙත දැඩි ආරක්ෂාවක් ලැබේ. කිසිවෙකුට ඔවුන් අසලට ලං විය නොහැකිය. අලි වසුරු වල ඇති පටක ඇසුරින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් කිරීමට හැකි අවස්ථා වනජීවී නිලධාරීහු සොයා බලමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආචාර්ය සුමිත් පිලපිටිය

Exit mobile version