නිධානයකින් ගොඩගත් බව කියා කෝටි ගණනකට පුරාවස්තු අලෙවි කිරීමට ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ –

නිධානයකින් ගොඩගත් බව කියා පුරා වසර 10ක් තිස්සේ විවිධ ව්‍යාපාරිකයන් රවටමින් අත්තිකාරම් මුදල් රැගත් පුද්ගලයෙක්   පෞරාණික ප්‍රතිමා ඇතුළු පුරාවස්තු තොගයක්   ළඟ තබාගෙන සිටිය දී  කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්  විසින්   ඊයේ (07) අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

මැදවච්චියේ යුද හමුදාවේ බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පුරාවස්තු මිලදී ගන්නා අන්දමට යෙද වූ උපාය දූතයෙකු මාර්ගයෙන් අදාල සැකකරුව ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 37 ක සැකකරු සමග  රන් ආලේප්ත පෞරාණික    කරඩු 1 ක්, දේව ප්‍රතිමාවක්, කාලි මෑණියන්ගේ දේව ප්‍රතිමා දෙකක්, මංජුසාවක්, පෙට්ටියක්, රන්මාලයක් හා  ඇත් දළ යුවලක්, ලෝහ  ඝණ්ඨාරයක කොටසක් හා ලෝහ කඩුවක්ද අත් අඩංගුවට ගෙන තිබේ.


මෙම පුද්ගලයා විසින් විවිධ  තරාතිරම්වල ව්‍යාපාරිකයින් කැඳවා එම නිධන් වස්තු පෙන්වා ඒවා අලෙවි කරණ බවට ප්‍රතිඥා දී වසර 10 ක් මුළුල්ලේම  අත්තිකාරම් මුදල් ලබා ගෙන ඇතත් කුමන හෝ හේතුවක් ඉදිරිපත් කොට ඔහු ඒවා අලෙවි කිරීම මගහැර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් සැකකරු හා නිධන් වස්තු සියල්ලම වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ගිරිබාව පොලීසිය වෙත බාර දී ඇති අතර පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version