“නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ චරිතය සමාජයටම ආදර්ශයක්”

ආදාහන පූජෝත්සවයේ දී ජනපති කියයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ධර්ම ඥාණය, සිල්වත්කම සහ ගුණවත්කම සමාජයට ආශිර්වාදයක් සහ ආදර්ශයක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

උන්වහන්සේ අපවත්වීම සම්බුද්ධ ශාසනයට, රටට, සමස්ත ලෝක බෞද්ධ ජනතාවට මෙන්ම පෞද්ගලිකව තමාට ද පිරිමැසීමට අපහසු පාඩුවක් බව හෙතෙම කියා සිටී.

අද (22) පස්වරුවේ මහනුවර, කුණ්ඩසාලේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක, හුරීකඩුව, මැණික්හින්න විද්‍යාසාගර පරිවෙනාධිපති අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.


ආදාහන පුජෝත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා අතිපූජ්‍ය නාපාන පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහයට වැද නමස්කාර කර අවසන් ගෞරව දැක්වීය.

අනතුරුව උන්වහන්සේ වෙනුවෙන් සමරු සටහන් පොතෙහි විශේෂ සටහනක් තබමින් අත්සන් තැබීය.

1922 නොවැම්බර් 30 වන දින මහනුවර නාපාන ග්‍රාමයේ දී උපත ලැබූ උන්වහන්සේ අපවත්වන විට අනු අට වන වියෙහි පසුවූහ. 1933 වසරේ දී පැවැදි දිවියට පිවිසි උන්වහන්සේ 1943 වසරේදී උපසම්පදාව ලැබූහ.

ලොව කීර්තිධර මහා තෙරුන්වහන්සේට බුරුම රජය පිරිනමන “අග්ගමහා පණ්ඩිත” සම්මානයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ 2012 වසරේ දී ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක පදවියට පත්ව අපවත්වන තුරුම එය හෙබවූහ.

බුදු දහමෙහි ගැබ්ව ඇති ගැඹුරු දර්ශනය සමාජගත කරමින් ඊට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගීමට මහා සංඝරත්නය ඉටු කළ මෙහෙය අතිමහත් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. බුදු දහමත්, සංස්කෘතියත්, සිංහල ජාතියත් රැකගෙන මෙරට වෙසෙන සෙසු සියලු ජාතීන් සමග සහජීවනයෙන් කටයුතු කිරීමට මහා සංඝරත්නය දෙන දායකත්වය ඉමහත් බව ද හෙතෙම පැවසීය.

නාපාන පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරිණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහා නායක, අනුනායක නා හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු, ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ඇතුළු දායක සභාව සහ ජනතාව මේ අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version