නව කොරෝනා පනතින් අධිකරණ ඇමතිට වැඩි බලයක් ඇතිව විදේශීය නීති පැමිණීමේ අවදානමක්

කොරෝනා පනතේ ව්‍යවස්ථා විරෝධී වගන්තිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණු පෙත්සමක් විභාගයට....

Alisabri

රජය විසින් සකස්කර මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “කොරෝනා වයිරස රෝග 2019 (COVID-19) (තාවකාලික විධිවිධාන )” යන පනත හරහා විදේශ රටක ක්‍රියාත්මක වන යම් නීතියක් ව්‍යවස්ථාවට අනුකූල නොවන පරිදි ශ්‍රි ලංකාවේ නීතියට අවිධිමත් ලෙස අදාළ කර ගැනීම සඳහා ඉඩක් ලැබෙන බව දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් ඊයේ ( 17) විභාග කිරීම ආරම්භ විය.

නීතිඥ ලක්සිරි උණවටුන විසින් ගොනුකළ මෙම පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන මුර්දු ප්‍රනාන්දු, යසන්ත කොඳාගොඩ සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන ත්‍රිපුද්ගල මඩුල්ල විසින් ඊයේ ආරම්භ කළේය.
පෙත්සම්කරුගේ තර්කය වී තිබුණේ මෙම පනත හරහා ඇති කිරීමට යන විකල්ප අධිකරණ සහ එම අධිකරණය සඳහා නඩු තෝරා ගන්නා ආකාරයත් විමසීමේ දී පනතේ ක්‍රියාත්මක කරන විට එහි ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනනුකූල බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන වගන්තිය ප්‍රකාරව මෙම විශේෂ පෙත්සම ගොනු කර තිබුණ අතර නව පනත හරහා ඇතැම් අවස්ථාවල දී බලතල වැරදි ලෙස අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවත් එසේ ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්තිවලට ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බවටත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවටත් ප්‍රකාශයක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.


අදාල පෙත්සම කොරෝනා වයිරස් රෝග 2019 (කොවිඩ් -19) (තාවකාලික ප්‍රතිපාදන)” යන පනත් කෙටුම්පත 2021 මැයි 20 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය 2021 ජුනි 8 වන දින පාර්ලිමේන්තුවේ නියෝග පත්‍රයට ඇතුළත් කර ඇත.

“මෙම පනතේ 12වැනි වගන්තිය අර්ථ නිරූපණයට අනුව විදේශ රටක නීතියක් ශ්‍රි ලංකාවේ නීති පද්ධතියට ඇතුළු කිරීමේ අවිධිමත් ආකාර ඉඩක් නිර්මාණය කර තිබෙනවා. මම කියන්නේ නැහැ විදේශ රටක නීති අපේ රටට අදාළ කර ගත යුතු නැහැ කියල. නමුත් එය සිදු කළ යුත්තේ ව්‍යස්ථාවට අනුකූලවයි. මෙම පනත මේ අවස්ථාවේ රටට අවශ්‍ය එකක් වුණත් අප එය සම්මත කර ගත යුත්තේ එය ව්‍යවස්ථාවට අනුකූල වන පරිද්දෙන්. “
මේ පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ ලක්සිරි උණවටුන ලංකාසරට පැවසීය.

ඊයේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී යෝජිත පනත් කෙටුම්පතට යම් යම් සංශෝධන හඳුන්වා දීමට රජය අදහස් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ අධිකරණයට දන්වා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙත්සම අද වැඩිදුර විභාගයට ගැනීමට නියමිතය


Exit mobile version