නගරාධිපති එරාජ්ගේ මැරයින්ගෙන්  ලුණු  සභාපතිට මරණ තර්ජන… පොලිස් ආරක්ෂාව ඉල්ලයි…

සූරියවැව නුවන් ජයසේකර – 

“ලේවායේ සේවකයන්ට වගේම මගේ ජීවිතයටත් දැඩි තර්ජනයක් ඇති වෙලා තියෙනවා.පොලිස් ආරක්ෂා ඉල්ලුවත් තවමත් නිසි ආරක්ෂාවක් දී නෑ.“

හම්බන්තොට නගරාධිපති වරයාගේ මැරයින් යොදවා ලේවායේ වාහනයකට පහරදීමක් සිදුකළා.මට වගේම මගේ සේවකයන්ට මේ වන විට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කරමින් තිබෙනවා.ඉතින් මේ සම්බන්ධයෙන් මා හා මගේ සේවකයන් හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකර තිබෙනවා. නමුත් මේ වන තුරුත් එම පැමිණිළිවලට අදාලව නීතිය ක්‍රියාත්මක වී නෑ. මේ වන විට මා ඇතුළු මගේ සේවකයන්ගේ ජීවීත දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙනවා. මාව මරණවාමයි කියලා තර්ජනය කර තිබෙන අවස්ථාවක මට හා මගේ නිළධාරීන්ට නිසි ආරක්ෂාවක් දෙන්න කියලා මන් පොලිසියෙන් ඉල්ලිමක් කලත් මෙතෙක් ඒ සදහා නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සිදුව නෑ“ යැයි හම්බන්තොට ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදභරණ මහතා අප කල විමසිමකදී අද (12)පැවසීය.

එහිදි වැඩිදුරටත් ඔහු  මෙසේද පැවසීය.


පසුගිය දවසේ ලේවාය ඇතුළෙ ඉදන් ගියපු ලේවායේ වාහනයකට හම්බන්තොට නගරාධිපති වරයාගේ මැර පිරිසක් විසින් යකඩ පොලු අරන් ඇවිත් පහර දී මගේ සේවකයන් මරන්න හැදුවා.  ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කළා. මේ වන තුරුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නෑ. 

මේ ස්ථානයේ මේ නගරාධිපති වරයාගේ මැර පිරිස් පැමිණ කළහකාරි ලෙස හැසිරෙද්දී පවා මා මේ පිළිබදව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා අවස්ථා කිහිපයකදීම. නමුත් මේ වන තුරුත් කිසිදු දෙයක් සිදු නොවුණ ගානට පොලිසිය ඉන්නවා. 

මම පොලිස්පති වරයාටත් ලිඛිතව පසුගිය 27 පැමිණිල්ලක් කලා.එහිදී පොලිස් පති වරයා අදාල වගකිවයුතු නිළධාරීන්ට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස දැනුම් දි ඇති බව දැනගන්න තිබුණත් මේ වන තුරුත් මෙම සිද්ධින්වලට සම්බන්ධ චුදිතයින් නිදැල්ලේ ඉන්නවා. අප කරන ලද පැමිණිල්ලකට අදාලව පසුගිය දවසේ නගරාධිපතිවරයා හම්බන්තොට පොලිසියට ගෙන්වා තිබුණත් පොලිසිය ඔහුගෙන් කට උත්තරයක් ගැනීමවත් සිදුකළේ නෑ.

මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු කලේ නෑ. අද වෙනකොට අපි කරපු පැමිණිල්ලට වෙච්ච දෙයක් නෑ. සැමට නිතිය සමාන විය යුතු නමුත් පොලිසිය මේ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. පොලිසිය ක්‍රියාත්මක නොවුණට අපි මේ වන විට ලේවායේ දේපළවලට හානි කිරීම හා අපේ කීර්ති නාමයට හානි කිරිම සම්බන්ධයෙන් අදාල පුද්ගලයන්ට එරෙහිව සිවිල් නඩු පැවරීමට අදාල එන්තරවාසි   යවා තිබෙනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් නිතිය හමුවට යනවා.

අද වෙනකොට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ හම්බන්තොට නගරාධිපති වරයා ඇතුළු පිරිස ලේවාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් කියලා එකක් කරගෙන යනවා. හැබැයි පැත්තකින් සීතල කාමරයක් සහිත වාහනයකුත් ගෙනත් තියෙනවා කට්ටියට විවේක ගන්න. අපිට කමක් නෑ ඒකට. ඒවගේම අද මට දැනගන්න ලැබුණා නගරාධිපතිවරයා මාරාන්තික උපවාසයක් පවා ආරම්භ කරන්න යනවා කියලා.මේ මොන උපවාස කලත් මට අහන්න තියෙන්නේ නගරාධිපති වරයාට ලැජ්ජාවක් කියලා එකක් නැදිද කියලා විතරයි. මොකද තමන්ගේ ආයතනයේ වැඩ ටික කරගෙන ඉන්නේ නැතිව ,ඒකේ කරන්න තියෙන වැඩ කටයුතු ඔක්කොම පැත්තකට දමලා මේ මොන අරමුණක් වෙනුවෙන්ද මේ විදියට අනුන්ගේ ආයතනයක් ඉස්සරහට ඇවිත් උපවාස කරන්නේ කියලායි.

ඔය ලේවායට එරෙහිව උපවාස කරන නගරාධිපතිවරයා මෙතෙක් හම්බන්තොට නගරයට මොකද්ද කරලා තියෙන වැඩේ කියලා කියන්නකෝ පුළුවන් නම්. හැබැයි හම්බන්තොට ලුණු ලේවායේ අපි මේ වෙනකොට මේ හම්බන්තොටට මිලියන 90ක් ගේන්න කටයුතු කරනවා. අපි වැඩ කරනවා. නගරාධිපති වරයා පිස්සු නටනවා. මෙහෙම මිනිස්සු ඉන්නකම් කොහොමද රට ගොඩනගන්නේ.

හම්බන්තොට නගරාධිපතිවරයා කියන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙලි අත්ත ආසනයේ ආසන සංවිධායක වරයා. ඔහු වැඩ කරන්නේ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති වරයාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ මොකද්ද කියලා පසුගිය දවසේ එළියට පැන්නනේ. අපි වෙනම වැඩ කරනෝ කියමින් කියා දැන් රට වටේ යනවා.ඉතින් මේ නගරාධිපතිවරයා නටන්නේ වැඩ කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නඩේට ඕනි විදියටයි.

ඒ අයට ඔනි ගම් මට්ටමේ යළි පදනමක් හදන්න. ඒ කොන්ත්‍රාත්තුව තමයි මේ නගරාධිපතිවරයා හම්බන්තොටින් බාරගෙන තියෙන්නේ. නමුත් නගරාධිපති වරයා මේ වැඩේට තෝරගෙන තියෙන්නේ වැරදි තැනක් කියලා නම් මන් කියන්න ඕනේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නගරාධිපති වරයාට වගේ අපරාධ චෝදනා අපිට නෑ. මේ වගේ ආණ්ඩු විනාස කරන්න කටයුතු කරන මිනිස්සුන්ට ජනතාව වැඩි දවසක් නොගොස් පාඩමක් උගන්වන බව නම් පැහැදිළියි“. යැයි පැවසිය.

Exit mobile version